මේ රටේ සැබෑ පාලකයා මහින්ද රාජපක්‍ෂ බව පෞද්ගලික බස් රථ හිමියන් ලොවටම කිව්වා

  👤  2932 readers have read this article !
By mawbima 2018-09-13

මෛත්‍රිපාල සිරිසේනගේ නීතියෙන්, බස් රථ හිමියන්ට කිව්වේ කොළඹට බස්වලින් යන්න එපා යනුවෙන් බවත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නීතියෙන් කිව්වේ කොළඹට එන්න කියා බවත් බස් රථ හිමියන් සෙනඟ පටවාගෙන කොළඹ එමින් ලෝකයට හඬගා කිව්වේ අදටත් මේ රටේ සැබෑ පාලකයා මහින්ද රාජපක්‍ෂ වන බව යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ පසුගියදා කුරුණෑගල නගර ශාලාවේදී පැවැති පිවිතුරු හෙළ උරුම කුරුණෑගල දිසා සම්මේලනයේදීය.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීවේය. සිරිසේනගේ ධාවන බලපත්‍ර අවලංගු කරන නීතිය කැලේට ගිහිල්ලා කොළඹට බස් අරගෙන එන්න කිව්ව මහින්දගේ නීතිය ක්‍රියාත්මක වුණා. සැප්තැම්බර් 5 වැනිදා දහවල් 1.30ට විතර මම හිටියේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා එක්ක. පොලිසියේ ඉහළම නිලධාරියෙක් කතා කරලා කිව්වා 12.30 වෙද්දී සෙනඟ රැගත් බස් රථ 2800ක් කොළඹ නගරයට ඇතුළු වෙලා කියලා. එක බසයක පනහයි කියලා ගත්තත් 140,000ක්. ඊට කලින් චණ්ඩි කතා කියපු ගොඩ දෙනෙක් හිටියා.

නීතිය නවන පොලිස්පති කිව්වා වැඩිය දැඟලුවොත් ගහනවා කියලා. කුරුඳු පොලු හමුදාවේ අණදෙන නිලධාරි මංගල සමරවීර ගුටි කන්න බලාගෙන එන්න කියලා තර්ජනය කළා. හැබැයි කොළඹ නගරය පාළු වෙද්දි ජනාධිපතිතුමා උදේ පාන්දර පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ ඉන්න ඡායාරූපයක් අරගෙන මාධ්‍යයට නිකුත් කරලා ජනාධිපතිවරයා කොළඹ නගරයෙන් අතුරුදන් වෙනවා.

අගමැතිතුමා හෙලිකොප්ටරයක නැඟලා කොහෙදෝ යනවා. චණ්ඩි පාට් දැම්ම මංගල සමරවීර ඇමැතිතුමා පස්වැනිදා උදේ වෙන්න කලින් ගුවන්යානයක නැඟලා සිංගප්පූරු යනවා.

ජනාධිපති, අගමැති සහ මංගල කොළඹින් පැනලා ගියාට පස්සේ ආණ්ඩුවේ අනෙක් ඇමැතිවරු ඔක්කොම හැංගුණා. එදා මහජන දිනය. එක ඇමැති කෙනෙක්වත් තමන්ගේ කාර්යාලයට ගිහින් මහජන දිනය කළේ නෑ. ජන බලයට බයේ සියලුදෙනාම හැංගිලා හිටියේ. ඊට පස්සේ එළියට ඇවිත් කියනවා ජන බලය අසාර්ථකයි කියලා. මීට වඩා සෙනඟ ආපු රැස්වීම මොකක්ද? මෙතරම් දිගු වෙලාවක් පැවැත්වූ උද්ඝෝෂණය මොකක්ද? ජන බල මෙහෙයුම කියන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම සෙනඟ එක් වූ උද්ඝෝෂණයයි.

කොටියා වෙඩි තියලා අපේ අහිසංක මිනිසුන්ව මරලා දැම්මා. බෝම්බ තියලා මරලා දැම්මා. කොටියා කවදාවත් අපිට බොන්න තියෙන වතුරවලට වහ දාන්න ඉදිරියට ආවේ නෑ. කොටියාටත් වඩා ශිෂ්ටත්වයෙන් පිටිපස්සෙන් ඉන්න සතා අලියා බවට එක්සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරුන් ක්‍රියාවෙන්ම පෙන්නුවා.

දැවැන්ත ආණ්ඩු විරෝධී රැල්ලක් ආවම දකුණු අප්‍රිකාවේ ජනාධිපතිතුමා ඉල්ලා අස්වුණා. ජනමත විචාරණයකින් තමන්ගේ රටේ ජනතාව බහුතරයක් තමන්ට විරුද්ධයි කියලා තේරුණාම එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වුණා.

අද අපිට කියන්න තියෙන්නේ ලැජ්ජා නැතිකම අගමැතිකමටත් වඩා ලොකුයි කියලා. මෙතරම් ජනගඟක් කොළඹට ඇවිල්ලත් ඔවුන් අස් වෙන්න සූදානම් නෑ. මේ රටේ නායකයන්ට ලැජ්ජාවක් නෑ.
මේ ආණ්ඩුව ගෙදර යැවීම 2019 ජනාධිපතිවරණය නොවෙයි අද හෙටම කිරීම තමයි අපේ වගකීමක් වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2030 වෙනකල් හිටියොත් රටත් ඉවරයි. අපිත් ඉවරයි. ඒ නිසා ඔහු වහාම එළවන එක අපගේ වගකීමක්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon