අලුත් අධිකරණය පිහිටුවූ පසු හොරු හොඳටම කලබල වෙලා

  👤  2834 readers have read this article !
By mawbima 2018-09-13

ලක්ෂ 30ක ජනතාවක් සමඟ ජනබල මෙහෙමෙන් කොළඹ වටලන බව කියූ පොදුජන පෙරමුණට 50,000ක්වත් රැගෙන එන්න බැරිවූ බව රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පැවැසීය.

බස් රථ 4000කින් කොළඹට ජනයා රැගෙන එන බව කිව්වත් බස් රථ පැමිණියේ 1500ක් බවත් මෙය මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවූ අසාර්ථකම මහජන විරෝධතාව බවත් ඇමැතිවරයා මෙහිදී පැවැසීය.
රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා ඉකුත්දා මේ බව පැවැසුවේ මඩුල්ල කොස්ගහඅරාව වැව ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට පැමිණි අවස්ථාවේ පැවැති ජන හමුවේදීය.

මෙම ජන හමුවේදී ඇමැතිවරයා මෙසේද පැවැසීය.

පසුගිය 5දා රාජපක්ෂ ජනතාව කොළඹට ගෙනාවේ අරලියගහ මන්දිරය වටලලා අගමැතිකම ගන්නවා කියලයි. විසිතිස් දාහක ජනතාවක් ගෙනත් ආණ්ඩු බලයක් ගන්නේ කොහොමද? නීතිය හා සාමය භාර ඇමැතිවරයා විදියට මම පොලිසියට උපදෙස් දීලා තිබුණා කොළඹට එන කාටවත් අතවත් තියන්න එපා වෙන දේ බලාගෙන ඉන්න කියලා. මොවුන් කිව්වේ නිදි වර්ජිතව රාත්‍රියක් ගත කරනවා කියලයි. රාත්‍රි 9 වෙන කොට 2000ක්වත් හිටියේ නැහැ. දහය වෙනකොට හිටියේ 500ක විතර පිරිසක්. රාත්‍රි 12 වෙනකොට බල්ලෙක්වත් හිටියෙ නැහැ. අපි බුද්ධි අංශ යොදවලා බස් රථවල පැමිණි ගණන බැලුවා.

හැම බස් රථයකම 20කට 25කට වැඩි ප්‍රමාණයක් හිටියේ නැහැ. ඉස්සර මහින්ද මහත්තයා එන්න කිව්වම බස් පුරවලා මිනිස්සු එනවා. නමුත් දැන් මිනිස්සු එහෙම රවටන්න බැහැ.

මහින්ද මහත්තයා මෙහෙයවූ අසාර්ථකම මහජන විරෝධතාව මෙයයි.

යහපාලන ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ගමින් ගමට ගොස් වැඩ කරද්දී පසුගිය කාලේ මහජන දේපළ සොරාගත් පුද්ගලයන්ට දඬුවම් කරමින් යද්දී ඊට කලබල වෙච්ච පිරිසක් තමයි ජනබල මෙහෙයුම කියමින් ඒවා වළක්වන්න මෙවැනි කටයුතු කරන්නේ.

මේ වෙනකොට පසුගිය කාලයේ රජයේ දේපළ අවභාවිත කළ පිරිසට එරෙහිව මහ පරිමාණ මහජන මුදල් කොල්ල කෑව අයට එරෙහිව එෆ්.සී.අයි.ඩී. එක හා සී.අයි.ඩී. එක නඩු 25ක් පමණ පවරලා තියෙනවා. නමුත් මේ පවරලා තියෙන නඩු කල් යන නිසා අපි මේ නඩු විභාග කරන්න විශේෂ අධිකරණයක් මේ වන විට පිහිටුවා තියෙනවා. මේ විශේෂ අධිකරණය අපි ආරම්භ කළේ පසුගිය මාසේ 24දායි.

මේ වන විට නඩු කීපයක් දැනට විභාග වෙමින් පවතිනවා. අපි දන්නවා සාමාන්‍ය අධිකරණයක නඩුවක් පැවරුවාම ඒ නඩුවත් ඉවර වෙන්න අවුරුදු 10ක් 15ක් ගත වෙනවා. මාස 6ක්වත් නඩුව කල් යනවා. මේ පහිටුවපු විශේෂ අධිකරණයේ නඩු කල් දාන්න බැහැ. දිගටම අහලා ඉවර කරන්න ඕන. දැන් මහජන දේපළ මුදල් හොරකම් කළ අය දන්නවා වැඩේ නරක අතට හැරිලයි තියෙන්නේ නඩු අහලා දඬුවම් ලැබෙනවා.

මේ නිසා තමයි ජනතාව කුලප්පු කරලා ඔවුන් ගෙනත් උද්ඝෝෂණය කරලා මොවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ නතර කරන්න පුළුවන් කියලා බැලුවේ. ජනතාව දැන් දන්නවා මේ අය දැන් එන්න කියන්නේ උසාවියෙන් බේරෙන්න නඩුවලින් හොරකම්වලින් බේරෙන්න කියලා. ඒ නිසා දැන් මිනිස්සු එන්න කිව්වට එන්නේ නැහැ. කාගෙවත් පෞද්ගලික න්‍යායපත්‍රවල ඉත්තො වෙන්න ජනතාව කැමැති නැහැ.
මොනරාගල - සංජීව බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon