මෛත්‍රි-මහින්ද-රනිල්-ගෝඨාභය වැන්නන් මේ රටට කළ සේවයක් නෑ

  👤  3157 readers have read this article !
By mawbima 2018-09-13

දෙනගම ධම්මික රණවීර

"සංහිඳියාව ගැන පාරම්බාන දේශපාලකයන් ඇතුළු පිරිසට සැබෑ සංහිඳියාව අත්විඳින්නට සීත කාමරවලින් එළියට ඇවිත් නැඟෙනහිර පළාතට ගොස් සිංහලයන් මුණගැසෙන ලෙස ආරාධනා කරනවා" යැයි සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් අවධාරණය කළේය.

හෙතෙම එසේ පැවැසුවේ පසුගියදා කොළඹදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
එහිදී ඔහු මෙසේද පැවැසීය.

"සිංහලේ ජාතික සංවිධානය පිහිටුවන්න හේතුවුණේ මේ රටේ සිංහලයන්ට බෞද්ධයන්ට සිදුවන අසාධාරණවලට එරෙහිව නැඟී සිටීමේ අරමුණ ඇතිවයි. සිංහලයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා දේශපාලනඥයන්, රජය ඇතුළු බලධාරීන් කටයුතු නොකළ නිසා තමයි අපට සංවිධානගත වීමට සිදුවුණේ. සිංහල බෞද්ධයන් අවදි කිරීමේ කටයුතු කරන අතරම සිංහල ජාතිය ආරක්ෂා කිරීමට මැදිහත්වීම් අප සිදුකරනවා.

මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතා ගොඩනඟපු වෙහෙර විහාර ඇතුළු ඓතිහාසික සිද්ධස්ථාන දිනෙන් දිනම විනාශ කරනවා. ඒවා පිළිබඳ මාධ්‍ය මඟිනුත් නිරන්තර හෙළිදරව් කිරීම සිදුවනවා. විශේෂයෙන් මුස්ලිම් අන්තවාදයක් ඒ පසුපස තිබෙනවා. සිංහලයන්ගේ සාම්ප්‍රදායික ඉඩම්, විහාර සතු ඉඩම් අල්ලා ගෙන තිබෙනවා. අක්කර සිය ගණනක් තිබූ මුහුදු මහා විහාරය අක්කර 3කට කොටු වෙලා.

විල්පත්තුවේ පදිංචි කරලා ඉන්නෙ සාම්ප්‍රදායික මුස්ලිම්වරු නොවෙයි. පකිස්තානය, බංග්ලාදේශය ආදී රටවල මුස්ලිම්වරු පදිංචිකර තිබෙනවා. අපි ඒවා සාක්ෂි සහිතව පැමිණිලි කළා. පොලිසියට කිව්වත් සිදුවෙච්ච විමර්ශනයක් නැහැ. මැති ඇමැතිවරුන් නිහඬයි.

එහෙම වුණාම තමයි රටේ තරුණයන් නීතිය අතට ගන්න පෙලඹෙන්නෙ. එතකොට තමයි පොලිසිය ඇතුළු දේශපාලනඥයො ක්‍රියාත්මක වෙන්නේ. සැබෑ ප්‍රශ්නයට විසඳුම් දෙන්නෙ නැතිව තරුණයො අත්අඩංගුවට ගන්නවා. මටත් අවස්ථා දෙකකදී සිරගත වෙන්න සිදුවුණෙත් ඒ නිසයි. අසත්‍ය චෝදනා දමලා තමයි සිර කරන්නෙ. නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් තිබෙන කණ්ඩායමක් තමයි එය ක්‍රියාත්මක කරන්නෙ.
සිංහල බෞද්ධයන්ට සිදුවන අසාධාරණකම් කියමින් අපි ගහපු ගල් නිසා වැටුණු ගෙඩි අහුලා ගත්තෙ ඒකාබද්ධ විපක්ෂය. ඒක සූක්ෂ්ම ක්‍රමයකට තමයි සිදුකළේ.

සිංහල ජාතික සන්ධානය ලෙස එකතු වෙලා තවන් ලියාපදිංචි පක්ෂයක් සමඟ දේශපාලනයට ඒමටත් අපි බලාපොරොත්තු වෙනවා. සිංහල ජාතිය ගැන හැඟීමක් තිබෙන පිරිසක් දේශපාලන තීන්දු ගන්නා ස්ථාන වෙත යොමු කිරීම අපේ බලාපොරොත්තුවයි.

ජනාධිපතිවරණයක් ගැන කතා කළොත් මෛත්‍රි, රනිල්, මහින්ද, ගෝඨාභය වැනි අය ගැන තමයි කල්පනා කරන්නෙ. ඒත් ඔවුන්ගෙන් මේ රටේ සිංහල බෞද්ධයන්ට සිදුවෙච්ච සේවයක් නැහැ. ඔළුගෙඩි මාරුවන එම වලව් පැලැන්ති දේශපාලනය නිමා කිරීම අපේ අරමුණයි.

මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් කිව්වට අපට උද්ඝෝෂණ කරන්න දෙන්නෙ නැහැ. බැරියර් දමනවා. ජනාධිපති හමුවන්න බැහැ. අතිරේක ලේකම් කෙනකුට තමයි ලියුමක් වුණත් භාර දෙන්න වෙන්නෙ. ඒත් ගන්න ක්‍රියාමාර්ගයක් නැහැ.

මේ වනවිට නැඟෙනහිර වෙනම රාජ්‍යයක් බිහි කරන්න මුස්ලිම් දේශපාලකයන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

මේ රටට එක විවාහ නීතියක් ඉල්ලුවා කියලා මට සිරගත වෙන්න සිදුවුණා. ළමා හා කාන්තා කාර්යාංශ තියෙන්නෙ සිංහලයන්ට නීති හදන්න පමණයි. ඔක්කොම නීති සිංහලයන්ට විතරයි.

සංහිඳියාව ගැන ඒ.සී. කාමරවල සිට පාරම්බාන ඕනෑම කෙනකුට මා ආරාධනා කරනවා නැඟෙනහිර සිදුවන යථාර්ථය බලන්න යන්න එන්න කියලා. උතුරේ පුරාවිද්‍යා ස්ථානයකට යන්න බැහැ. ඒ ප්‍රදේශවල රටේ තියෙන සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ

පුරාවිද්‍යා ස්ථාන රකින්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අසමත් වෙලා. නිලධාරීන් දෙදහසක් සිටිය යුතු වුවත් ඉන්නෙ දෙසිය ගණනක් විතරයි කියලා පුරාවිද්‍යා කොමසාරිස් කියනවා.
බෞද්ධ රටේ අද පිරිත් දමන්න බැහැ. පෙත්සම් ගහනවා. ඒත් තවත් පිරිසකට දවසට වාර ගණනක් යාඥා කරන්න පුළුවන්.
ඡායාරූප - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon