ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ජපානයට දුන් සටනින් පසුව ශ්‍රී ලංකා පුහුණුකරුවා ධනාත්මක තැනක

  👤  2489 readers have read this article !
By mawbima 2018-09-13

හොංකොං හිදී හෙට(14දා) ආරම්භ වන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන නවසීලන්ත ජාතික පීටර් වුඩ්ස් පවසා සිටින්නේ මීට දින කිහිපයකට ඉහතදී ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී ජපානයට එරෙහිව ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම තරග වැදුණු ආකාරයෙන් පසුව තමන් ධනාත්මක මානසිකත්වයකින් පසුවෙන බවයි.


අවසන් පූර්ව වටයේදී ජපානය සමගින් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ලකුණු 12-10ක් ලෙස තියුණු පරාජයක් අත්වින්දේය. අර්ධ අවසන් පූර්ව වටයේදී චීනය ලකුණු 17-12ක් ලෙස පරදවන්නට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී දකුණු කොරියාව හමුවේ ලකුණු 36-14ක් ලෙස පරාජය විය.


තවද ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ස්ථාන කිහිපයක් හඳුනාගනිමින් පුහුණුවීම් කළ බව පැවැසූ පුහුණුකරු වුඩ්ස්ගෙන් සංචිතයට ඇතුළත්වූ නවක ක්‍රීඩකයන් පිළිබඳ විමසූ විට පැවැසුවේ මෙවැන්නකි "සුදර්ශන මුතුතන්ත්‍රි හා දනුෂ්ක රන්ජන් යන ක්‍රීඩකයන් දෙදෙනා ආබාධයට ලක්වීමත් සමඟ කණ්ඩායමට නවකයන් එකතු වෙලා තියෙන නිසා අපි ඉක්මනින්ම පුහුණුවීම් කරන්න ඕන. ජාකර්තාවලදී ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් වෙනුවට ආපු නවක ක්‍රීඩකයන් පැහැදිලිවම ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු ශක්තියක් සපයාවි" යනුවෙන් සඳහන් කළේය. එමෙන්ම නව නායකත්වයෙන් යුත් නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකාවට ප්‍රබලම කණ්ඩායම් සිටින කාණ්ඩයක් යටතේ තරග වැදීමට සිදුව තිබීම පිළිබඳවද අදහස් දැක්වූ පුහුණුකරු පීටර් වුඩ්ස් කියා සිටියේ ප්‍රබලම කාණ්ඩයෙන් තරග වැදීමට සිදු වූවත් තරගයෙන් තරගය පිළිබඳ වැඩි අවධානයක් යොමුකරමින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි.


කෙසේ වෙතත් සත් සාමාජික රග්බි කණ්ඩායම ඊයේ (12දා) හොංකොං බලා පිටත්ව ගිය අතර තරගාවලියට ප්‍රථම ඔවුන් පුහුණු සැසි කිහිපයක් සඳහා සහභාගි වීමටද නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon