එංගලන්ත-ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කුක් සමුගත් අවසන් සාදයේදී ඇන්ඩර්සනුත් ලෝක වාර්තාවක් තබයි

  👤  2545 readers have read this article !
By mawbima 2018-09-13

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වුණු තරග 5කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන්ද ලකුණු 118ක ජයක් ලබමින් තරගාවලිය 4-1ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයකින් නිම කරන්නට එංගලන්තය පෙරේදා (11දා) සමත් විය.


එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් මෙතෙක් බිහිවූ සාර්ථකම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවා මෙන්ම ආරම්භක පිතිකරුවකුද වූ ඇලස්ටෙයාර් කුක්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමද සටහන් වූ එම තරගයේදී ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගත් වේගපන්දු යවන්නාගේ වාර්තාවට හිමිකම් කියන්නට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වීම කැපීපෙනුණි. ඒ අනුව ටෙස්ට් කඩුලු 564ක් දවාගෙන ඇති ජේම්ස් ඇන්ඩර්සන් බිඳ හෙළීමට සමත් වූයේ ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නකු වූ ග්ලෙන් මැග්‍රාත් කඩුලු 563ක් ලබා වසර ගණනාවක් පුරා හිමිකම් කියූ වාර්තාවයි.


ලන්ඩන්, කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේදී එංගලන්තය පළමු ඉනිමට ලකුණු 332ක් රැස් කළ අතර ඉන්දීය පළමු ඉනිමට වාර්තා වූයේ ලකුණු 292ක් පමණි. දෙවන ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 423ක් ලබා ඉනිම අත්හිටුවූ එංගලන්තය ඉන්දීය කණ්ඩායමට ලකුණු 464ක ඉලක්කයක් ලබාදුන්නේය. එම දැවැන්ත ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3ම අඩු ලකුණු ප්‍රමාණයකදී බිඳ වැටුණද මැදපෙළ පිතිකරුවෝ යළිත් ඉනිම ගොඩනැඟීමට සමත් වූහ. නමුත් එංගලන්ත පන්දු යවන්නෝ නව පන්දුවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් ඉන්දීය දෙවන ඉනිම ලකුණු 345කට සීමා කරන්නට සමත් වූහ.


කෙසේ වෙතත් මෙම තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 71ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 147ක් ලබාගැනීමට සමත් වූ ඇලස්ටෙයාර් කුක් තරගයේ වීරයා සම්මානය හිමිකරගත් අතර ශතක දෙකක් හා අර්ධ ශතක තුනක් සමඟින් ලකුණු 593ක් ලබාගත් ඉන්දීය නායක විරාත් කෝලි හා ලකුණු 272ක් සමඟ කඩුලු 11ක්ද දවාගත් එංගලන්ත යොවුන් ක්‍රීඩක සෑම් කරන් තරගාවලියේ වීරයන් ලෙස සම්මාන දිනාගත්හ.


තවද එම තරගයේදී ලබාගත් ලකුණු ප්‍රමාණයත් සමඟින් ටෙස්ට් ලකුණු 12,472ක් ලබා ඇති ඇලස්ටෙයාර් කුක් එම තරග ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වූ අතර ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායකයකු වන කුමාර් සංගක්කාර ලකුණු 12,400ක් සමඟින් එහි 6 වැනි ස්ථානයේ පසුවෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon