පුතා මැරුවාට සැක පියා 17 දා තෙක් රිමාන්ඩ්

  👤  2671 readers have read this article !
By mawbima 2018-09-13

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම


උදැල්ලකින් හිසට පහරදී අධික තුවාල සිදුකර සිය පුතා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරිබාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පියා මෙම මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ අංක 274, යාය 5, සඳගල සෝලෙවැව යන ලිපිනයේ පදිංචිව සිටි කරුණාසිරි මෙවන්ගේ ප්‍රේමදාස නමැති 56 හැවිරිදි පුද්ගලයෙකි.
පසුගිය 05 වැනිදා මෙම සිදුවීම සිදුව ඇති අතර පියා සහ පුතා අතර කාලාන්තරයක් තිස්සේ තිබූ ආරවුලක් මෙම පහරදීමට මුල් වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


ප්‍රහාරයට ලක්ව මියගිය තැනැත්තා ඉකුත් 05 වැනිදා සවස 07ට පමණ වැඩ නිම වී මත්පැන් ද පානය කොට නිවෙසට පැමිණ සිය මවගෙන් ආහාරය පිණිස යමක් කෑමට ඉල්ලා තිබේ. පසුව මව බත් බෙදා ගෙන ඒමට මුළුතැන්ගෙයට ගොස් ඇති අතර නිලංග යන අයද මුළුතැන්ගෙයි අසල වූ ‍ෙදාර අසල බිම හිඳගෙන තරමක නින්දකට වැටී තිබේ. පසුව මව බත් බෙදාගෙන ඔහු වෙත ගොස් අවදි කිරීමට උත්සාහ කළද බීමත්ව සිටීම නිසා ඔහුට අධික ලෙස නින්ද ගොස් තිබේ.


කෙසේ වෙතත් සිය පුතා බීමත්ව පැමිණ ඇති බවට දැනගත් ඔහුගේ පියා වූ මෙම සිද්ධියේ සැකකරු ඊට ස්වල්ප වේලාවකට පසුව නිවෙසේ ඉදිරිපසින් මුළුතැන්ගෙයට උදැල්ලක් ද අතැතිව පැමිණ ඇති අතර එසැණින්ම බිම නිදා සිටි නිලංගගේ හිසට වැරෙන් පහරදී තිබේ. උදලු ප්‍රහාරයට ලක්වූ නිලංගගේ හිස ඒ අවස්ථාවේදී දරුණු ලෙස පැලී කැබලි වී ගොස් ඇති අතර අධික රුධිර වහනයක් ද සිදුව ඔහු ඒ අවස්ථාවේදීම මියගොස් තිබේ.


අදාළ පහරදීම වැළැක්වීමට තැත් කළ මව පසු පසද සැකකරු විසින් එළවාගෙන ගොස් ඇති අතර ඇය දිවගොස් සැඟවී ජීවිතය බේරාගෙන තිබේ. පසුව අසල්වාසීන්ට මේ පිළිබඳව සැල කිරීමෙන් පසුව ඔවුන් විසින් සිද්ධිය සිදුවූ නිවෙසට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් ගිරිබාව පොලිසියට දැනුම් දී තිබේ.


පසුව ගිරිබාව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රහාරය සඳහා යොදා ගත් උදැල්ලද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ගල්ගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නිහාල් ගාමිණී මහතා විසින් සිදුකර ඇති අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා මෘත ශරීරය කුරුණෑගල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියෝග කර තිබේ.


නිකවැරටිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් මත ගිරිබාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. අබේරත්න මහතා හා උප පොලිස් පරීක්ෂක සමරවීර මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon