පාලකයන් ජනතාවගෙන් මල තළා රොන් ගන්නවා ප්‍රවාහන හා කර්මාන්ත සංගම් කියති

  👤  2480 readers have read this article !
By mawbima 2018-09-13

උදයන්ති මුණසිංහ


විටින් විට ඉන්ධන මිල ඉහළ දමමින් පාලකයන් ජනතාවගෙන් මල තළා රොන් ගැනීමේ ක්‍රියාවලියක් කරන බැවින් එය තරයේ හෙළා දකින බවට ප්‍රවාහන හා කර්මාන්ත සංගම් චෝදනා කරයි.


ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව වෘත්තීය, ප්‍රවාහන හා කර්මාන්ත සංගම් ඒකරාශීව පෙරේදා (11දා) බොරැල්ලේ පිහිටි එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගම් මේ බව අවධාරණය කළේය.


ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙලෙස විටින් විට ඉන්ධන මිල ඉහළ යෑමක් සිදු නොවූ බවත් මෙහිදී සිදු කළ යුත්තේ මාසෙන් මාසෙට ඉන්ධන මිල වෙනස් නොකර මාස හයකට වරක් වෙනස් කිරීම බවත් ඔවුහු පැවැසූහ.


මෙලෙස විටින් විට ඉන්ධන මිල ඉහළ දැමීමෙන් කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවට ලක් වන අතර ඔවුන්ට පාඩු විඳීමට සිදුවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.


මෙම අවස්ථාවට එක් වූ අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවැසුවේ බස් ගාස්තු සංශෝධනයකට නොගොස් තම සේවාව පවත්වාගෙන යෑමට නොහැකි බවත් නමුත් ඩීසල් පරණ මිලටම ලබා දෙන්නේ නම් සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි. එමෙන්ම ජාතික ගමනාගමන කොමිසමේ සභාපති සමඟ සාකච්ඡා කොට මේ පිළිබඳව තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.


මෙම අවස්ථාවට සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ හා රියැදුරු අයිතීන් සුරැකීමේ සංගමය, සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon