මෙරට යුද අපරාධකරුවන්ට ජාත්‍යන්තර යුද අධිකරණයේ නඩු පවරන්න

  👤  2591 readers have read this article !
By mawbima 2018-09-13

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උතුරු පළාත් සභාව විසින් ඊයේ (12දා) දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. සිවාජිලිංගම් මහතා "මව්බිම" ට ප්‍රකාශ කළේය.


යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ඇමෙරිකාව සමඟ ශ්‍රී ලංකාව සම දායකත්වය ලබා දෙමින් යෝජනාවක් ඉදිරිපත් කළ බවත් එම යෝජනාවේ අඩංගු කරුණු ඉටුකිරීමට වර්තමාන ආණ්ඩුව වසර 2කට අධික කාලයක් තිස්සේ ක්‍රියාකර නොමැති බවත් මෙම තත්ත්වයන් මත වර්තමාන ආණ්ඩුව ගැන විශ්වාසයක් නොමැති නිසා, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පිහිට පැතීමට සිදුව තිබෙන බවත් සිවාජිලිංගම් මහතා පෙන්වා දෙයි.


මීට අමතරව උතුර - නැඟෙනහිර පළාත් සභා ඒකාබද්ධ කොට එම පළාතේ ජනතාව වෙනුවෙන් වෙනම ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කළ බව සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරයි.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරයාට යොමු කරන ලද සියලුම කරුණු අඩංගු යෝජනාවට පසුගිය 11 වැනිදා උතුරු පළාත් සභාවේ අනුමැතිය හිමිවූ බවද සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon