ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා 19වැනිදා CID

  👤  2519 readers have read this article !
By mawbima 2018-09-13

අමිල අබේරත්න

තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළායැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රධාන සැකකරුවකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි... යන අයට, ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියට අදාළව ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විදේශ සංචාරය නිමකර මේ මස 19 වැනිදා මෙරටට පැමිණි පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (12දා) දන්වා සිටියේය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එසේ දන්වා සිටියේ 2008 වසරේ අගෝස්තු - සැප්තැම්බර් අතර කාලසීමාවේදී තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළ නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (12දා) කැඳවූ අවස්ථාවේදීය.


ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හිටපු නාවික හමුදාපතිවරයා හට සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට ඉකුත් 10 වැනිදා දන්වා යැවූ බවද, කිසිදු දැනුම්දීමකින් තොරව ඔහු විදේශගත වී ඇති බවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.


ඔහු විදේශ ගතවූ පසු මේ මස 19 වැනිදා මෙරටට පැමිණෙන බවත් ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ මස 19 වැනිදා දිනය ලබාදෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කර ඇති බවත් එම පොලිස් නිලධාරියා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.


වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, හිටපු නාවික හමුදාපතිවරයා වූ ඔහු මෙරට නියෝජනය කරමින් මෙක්සිකෝ රාජ්‍යය වෙත ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති බවද, එකී පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.


පැහැරගෙන ගොස් තරුණයන් ඝාතනය කළැයි කියන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් නොවී මඟහැර සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියට අදාළව ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා එල්ල කර ඇති අතර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට පියවර ගන්නේ ඒ සම්බන්ධයෙනි.


ඔහු ආධාර අනුබල දී ඇති බවට සාක්ෂි තිබේ නම් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත්වරිය ඉකුත් නඩු දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ලැබිණි.


මෙම සිද්ධියට අදාළ 10 වැනි සැකකරු වන, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්, පොලිස් පරීක්ෂක ඉලංගසිංහ, උප පොලිස් පරීක්ෂක සම්පත් යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon