හෘද කපාට අවහිර වූ රෝගීන් තිදෙනකුට සැත්කමක් නොමැතිව පාද කපාට සාර්ථකව බද්ධ කරයි

  👤  2995 readers have read this article !
By mawbima 2018-09-14

ජේ.ටී. ද සිල්වා

හෘදයේ සංස්ථානික මහා ධමනියට රුධිරය ගමන් කරන කපාට අවහිර වූ රෝගීන් තිදෙනකුට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සැත්කමක් නොමැතිව පාදයේ කපාට බද්ධ කිරීම කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේදී සාර්ථකව සිදුකර ඇත.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් ප්‍රමුඛ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන්, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, පුහුණු වන වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය මෙම සැත්කම සඳහා දායක වී ඇත.

හෘද වස්තුවේ සංස්ථානික මහා ධමනිය විවෘත කර අවහිර වී ඇති කපාටය වෙනුවට පාදයේ කපාටයක් බද්ධ කර ඇති අතර ලෝකයේ බොහෝ රටවල වසර ගණනාවක් පුරා මෙම සැත්කම සිදුකර ඇත.
හෘද සැත්කම් සිදු කිරීමේදී ස්ටෙන්ස් දැමීම වැනි සැත්කමක් මෙහිදී සිදුකරන අතර සැත්කමට භාජන වූ රෝගීන් තිදෙනා සුවෙන් පසුවන බව විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් පැවැසුවාය.
සැත්කම් සඳහා යෝග්‍ය නොවන වයස්ගත පුද්ගලයන් සඳහා මෙම සැත්කම සිදුකරනු ලබයි.

පාදයකින් කපාටය ලබාගෙන සිදුකරන මෙම සැත්කමේදී සංකූලතා අවම වන අතර රෝගීන්ට සැත්කම සිදු කිරීමෙන් පසු දින ගණනාවක් රෝහලේ ප්‍රතිකාර නොලබා නිවෙස් කරා යෑමටද අවකාශය ලැබෙනු ඇත. මෙම සැත්කම රෝගියා සිහියෙන් සිටියදී සිදුකරනු ලබන නමුත් මෙරට සිදු කළ සැත්කමේදී රෝගීන් තිදෙනා නිර්වින්දනය කර මෙය සිදුකළ බව විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් ප්‍රකාශ කරයි.

මෙම සැත්කම පිළිබඳව අදහස් පළ කරන විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස්,
"මෙම සැත්කම සාර්ථකව සිදුකළ රෝගීන් තිදෙනාට කිසිම සංකූලතාවක් ඇතිවූයේ නැහැ. මෙම ක්‍රමය තව තවත් දියුණු කළ යුතුයි. මෙම සැත්කම සිදුකිරීම සඳහා සෞඛ්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න ඇමැතිතුමා ලබාදුන් සහයෝගය අගය කළ යුතුයි.

වසරකට පෙර සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකදී මෙම නව ක්‍රමය පිළිබඳව මම කරුණු ඉදිරිපත් කළා. එම අවස්ථාවේදීම සෞඛ්‍ය ඇමැතිවරයා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට පොරොන්දු වුණා. අවශ්‍ය රෝගීන් හඳුනා ගැනීමෙන් පසු සෞඛ්‍ය ඇමැතිවරයා සියලුම වෛද්‍ය උපකරණ, පහසුකම් ලබාදීමට කටයුතු කළා. වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති එතුමා මෙම සැත්කම සඳහා දැක්වූ සහයෝගය අගය කළ යුතුයි."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon