මහනුවර ශිල්පීන් රතු පාට භාවිතයට කලින් අනුරාධපුර යුගයේ චිත්‍ර ශිල්පීන් දේශීය ඔසු 15කින් රතු වර්ණය හදාගෙන තිබෙනවා - කලාභූෂණ ජයසිංහ නයිදේ අත්හදා බැලීමකින් පසු හෙළි කරයි

  👤  2635 readers have read this article !
By mawbima 2018-09-14

ඉනාමළුව - තිලක විජයසූරිය

මහනුවර යුගයේ චිත්‍ර ශිල්පීන් රතු වර්ණය සාදා ගැනීම සඳහා ඉන්දියාවෙන් ගෙන්වන ලද සාදලිංගම් රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට පෙර අනුරාධපුර යුගයේ සිටි චිත්‍ර ශිල්පීන් දේශීය ඔෟෂධ වර්ග 15ක් යොදා ගනිමින් රතු වර්ණ සාදාගෙන ඇති බව රහසිගත පුස්කොළ පොතක අඩංගු කරුණු ඔස්සේ කළ අත්හදා බැලීමකින් කරුණු අනාවරණ කරගත් බැව් ශ්‍රී බෝධි නාරායන බෝධි පට්ටලමේ බුවනෙකබාහු චිත්‍ර මූලාචාර්ය පටබැන්දා හෙවත් නිලගම සිත්තර පරම්පරාවේ කලාභූෂණ ජයසිංහ නයිදේ මහතා "මව්බිම"ට අනාවරණය කරයි.

අනුරාධපුර යුගයට අයත් සිතුවම්වල දක්නට ලැබෙන රතු වර්ණ "කුණු ලේ වර්ණයට" හුරු තද වර්ණයක් බවත් මහනුවර යුගයේ සාදලිංගම් මූලද්‍රව්‍ය යොදාගනිමින් සාදා ගත් රතු වර්ණය එතරම් තද වර්ණයක් නොවන බවත් පවසන ජයසිංහ නයිදේ මහතා අනුරාධපුර යුගයට අයත් සීගිරිය, දිඹුලාගල, නයිදෙනාව යන ස්ථානවල සිතුවම්වල දක්නට ලැබෙන රතු වර්ණය රහසිගත පුස්කොළ පොතේ අඩංගු දේශීය අමුද්‍රව්‍ය 15ක් යොදා ගනිමින් කළ පර්යේෂණයේදී නිපදවා ගැනීමට සමත් වූ බැව් හෙතෙම පැවැසීය.

සාමාන්‍යයෙන් අපේ චිත්‍ර ශිල්පීන් රතු වර්ණය හදා ගන්නේ ඉන්දියාවෙන් අරගෙන එන සාදලිංගම් ගල් අඹරලා, ඒකට දිවුල් මැලියම් සාරය එක්ක වතුර දමා අඹරලා. එහෙම හදා ගන්නා රතු පාට මහනුවර යුගයේ චිත්‍ර ඇඳලා තියෙන දඹුල්ල, ලංකාතිලක, ගඩලාදෙණිය, දෙගල්දොරුව, නිලගම චිත්‍රවල දකින්නට ලැබෙනවා.

ඒත් අනුරාධපුර යුගයේ මුල් කාලයේ චිත්‍රවල ගාලා තියෙන රතු වර්ණය තද පාටයි. ඉතින් ඒ පාට කොහොම හදාගත්තාද කියන ප්‍රශ්නය අපට තිබුණා. එහෙම ඉන්නකොට රහසිගත පුස්කොළ පොතක තිබුණා රතු පාට හදා ගන්න වට්ටෝරුව.

ඒ වට්ටෝරුවේ ඔෟෂධ වර්ග 15ක් තිබුණා. අපි ඒ පාට හදා ගන්න අත්හදා බැලීම කළේ අපේ නිලගම පන්සලේ. ගුරුගල්, මල්, කොළ, රතකහ ඇට වගේ ඔෟෂධ වර්ග අඹරලා පොල් රා උණුකර ගන්න තිබුණා. අපේ අත්හදා බැලීම සාර්ථක වුණා. සීගිරිය, දිඹුලාගල, නයිදෙනාව චිත්‍රවල දකින කුණු ලේ පාටට හුරු රතු පාට හදා ගත්තා.

අපි හොයාගත්ත මේ කරුණුවලින් පේනවා මහනුවර යුගය වනවිට චිත්‍ර ඇඳීම ජීවත්වීමේ කර්මාන්තයක් විදියට කරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙම කර්මාන්තයක් විදියට දියුණු වෙද්දී බෙහෙත් 15ක් විතර හොයලා මුල් කාලයේ රතු වර්ණය හදා ගන්න වැඩේ අමාරු වෙන්න ඇති. එක සාදලිංගම් කෑල්ලකින් රතු පාට ගොඩක් හදා ගන්න පුළුවන්. අපේ චිත්‍ර ශිල්පීන් ඒ පහසුව ගැන හිතන්න ඇති. හැබැයි මේකෙන් එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි අපේ පැරැණි චිත්‍ර ශිල්පීන් විවිධ පාට හදා ගන්න ක්‍රම ගැන අත්හදා බැලීම් කරලා තියෙනවා කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon