අලියකු පහරදීමෙන් මියගිය පියාට වැඳ ශිෂ්‍යත්ව විභාගයට ගිය දැරියගේ පවුලට සිවු දිගින් උදවු

  👤  3073 readers have read this article !
By mawbima 2018-09-14

දශක ගණනාවක් තිස්සේ ඇදි ඇදී යමින් තිබෙන අලි - මිනිස් ගැටුමට ස්ථීර විසඳුමක් නොමැති නිසා වන්නේ නිතර දෙවේලේ අලි පහර දීමෙන් මිනිස්සු මිය යෑමයි. අලි පහරදීමක් නිසා පසුගිය දිනවල බොහෝ දෙනකුගේ අවධානයට ලක්වූ සංවේදී සිදුවීමක් මාධ්‍යයෙන් වාර්තා විය. ඒ අලියකුගේ පහරදීමකින් මියගිය පියාට වැඳ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දියණියක පිළිබඳවයි. සිද්ධිය වාර්තා වූවේ අම්පාර පන්නල්ගම ප්‍රදේශයෙනි.

ස්ථිර රැකියාවක් නොමැතිව ලැබෙන කුලී වැඩකින් දරු පවුල රැකගත් පියාට කුඹුරට ගොස් එමින් සිටියදී අලියකු පහරදී මියයෑම නිසා දරු තිදෙනකුගෙන් යුත් එම පවුල අන්ත අසරණ වන්නට විය. එම දරුවන් අධ්‍යාපනය ලබන පන්නල්ගම විදුහලේ විදුහල්පතිනි නන්දනි පෙරේරා මහත්මියගේ මැදිහත් වීමෙන් මාධ්‍යට මෙම තොරතුරු අනාවරණය විය. එය දැනගත් සංවේදී මිනිසුන් බොහෝ දෙනෙක් මෙම දරු පවුලට පිහිට වීමට ඉදිරිපත් වූහ.
ඒ නිසා පසුගියදා එම දරු පවුලට උපකාර කිහිපයක් ලැබිණි. ජලයෙන් නිරන්තරයෙන් පීඩා විඳී එම දරු පවුල ජීවත් වන නිවෙසට නළ ජල සැපයුමක් ලැබිණි. එසේ නළ ජලය ලැබුණු අවස්ථාවට පන්නල්ගම සුදර්ශනාරාමයේ කුඩා උයනේ සිරිවංශ හිමියන් සමඟින් පන්නල්ගම විද්‍යාලයේ විදුහල්පතිනි නන්දනි පෙරේරා මහත්මිය ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් සහභාගි වූහ.

පන්නල්ගම සුදර්ශනාරාමයේ කුඩා උයනේ සිරිවංශ හිමියෝ මෙසේ අනුශාසනා කළහ.

''වල් අලි ගැටුම සැමදා මේ අයට උරුම වෙලා වගේ. එදා කොටින්ගෙන් බැට කෑ මෙම ජනතාවට දැන් වල් අලින්ගෙන් බැට කන්න සිදුවෙලා. ඒ නිසා අහිංසක මිනිස් ජීවිත රැසක් විනාස වුණා.

මෙම පවුලේ පියා මීට සති කිහිපයකට කලින් අලියෙක් ගහලා මැරුණා. පසුගියදා පැය කිහිපයක් ඇතුළත අම්පාරේ ගම්මාන දෙකක අලි ගහලා දෙදෙනෙක් මැරුණා. මේ ආකාරයෙන් නිතරම අහිංසක ගොවි ජනතාව වල් අලින් පහරදීම නිසා මියයනවා. ඒ පිළිබඳව බලධාරීන් ස්ථීර විසඳුමක් ලබා දුන්නේ නැතිනම් දිගින් දිගටම මෙවන් වේදනාබර සිදුවීම් අසන්නට ලැබේවි. පියා නොමැතිව අන්ත අසරණ වුණු මෙම දරු පවුලට කරන්නේ කුමක්දැයි කියා හිතා ගන්නට නොහැකි වන වේලාවක පන්නල්ගම විදුහලේ විදුහල්පතිනිය වන නන්දනි පෙරේරා මහත්මියගේ මැදිහත් වීමෙන් මෙම සිදුවීම මාධ්‍යයේ පළවීමත් සමඟ දෙස් - විදෙස් බොහෝ දෙනකුගේ අවධානය යොමුව මෙම පවුලට උදවු උපකාර කරන්නට ඉදිරිපත් වුණා. මෙම ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ජලය නොමැතිව දැඩි සේ පීඩාවට පත්වෙලා ඉන්නේ. නමුත් මේ වන විට එම දරු පවුලට ජල සැපයුමක් ලබා දෙන්නට පරිත්‍යාගශීලීන් කටයුතු කර තිබෙනවා. උදවු උපකාර කළ සියලුම දෙනාට අපගේ ස්තුතිය පුද කරනවා.''

පන්නල්ගම විදුහල්පතිනි නන්දනි පෙරේරා මහත්මිය මෙසේ පැවැසුවාය.

''වල් අලි පහරදීමෙන් පියා මියයෑම නිසා අන්ත අසරණ වුණු මෙම දරු පවුල වෙනුවෙන් ඔවුන්ට පිහිටවීමට ලැබීම මහ පිනක්. මේ සඳහා දෙස් - විදෙස් බොහෝ දෙනෙක් ඉදිරිපත් වුණා. මේ සිදුවීම ජනාධිපතිතුමා දැනගත් සැණින් ඉරෝෂ් හෙට්ටිගේ මහතා මෙම නිවෙසට පැමිණියා. ඉන්පසුව ඔහුගේ මැදිහත් වීමෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරි තිලක් වේවැල්පනාව මහතාගේ මැදිහත් වීමෙන් තාරක වේවැල්පනාව මහතාගේ පෞද්ගලික පරිත්‍යාගයෙන් මෙම නිවෙසට ජල සැපයුම ලැබුණා. ඒ සමඟම මධ්‍යම පළාත් සභා මන්ත්‍රිනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය නිරන්තරයෙන්ම මෙම කාර්ය සඳහා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් අදාළ උපදෙස් ලබාදෙමින් සහයෝගය ලබා දුන්නා.

ඒ වාගේම දිගාමඬුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතාද මෙම කාර්යයට මුල සිටම සහයෝගය දැක්වූවා.''
මනුෂා ලක්මාලි මහත්මිය මෙසේ කීවාය.

''මහත්තයාට ස්ථීර රැකියාවක් නැහැ. කුලී වැඩ කළේ. ළමයි තුන්දෙනත් බලාගෙන අපි ජීවත් වුණේ ඉතා අමාරුවෙන්. මගේ මහත්තයා නැති වුණු වෙලේ මම අන්ත අසරණ වුණා. අපිට කුඹුරු නැහැ. අලියා ගහලා මහත්තයා මිය ගියාම මට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුණා. නමුත් ඒ වෙලේ විදුහල්පතිනි නන්දනි පෙරේරා මහත්මිය අපට පුදුමාකාර උදවුවක් කළා. මාධ්‍ය හරහා දැනුවත් කිරීම නිසා අපිට උදවු කරන්න ඉදිරිපත් වුණු සියලුම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. වතුර නැතිව අපි පුදුම දුකක් වින්දේ. අපිට ජලය ලබා දෙන්න කටයුතු කළ සියලුම දෙනාටම අපි ස්තුතිය පුද කර සිටිනවා.''
දිගාමඩුල්ල - හෂිනි සචින්තා ඉඳුවරි, අම්පාර - සිතුමිණි
ධනුෂ්කා දිල්හානි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon