කැබිතිගොල්ලෑවේ ක්ලේමෝ බෝම්බයකට බස් රථය හසුවූ ස්ථානයේ ස්මාරකයක් ඉදිකරයි

  👤  2679 readers have read this article !
By mawbima 2018-09-14

අනුරාධපුරය - පර්සි කුරුනේරු

උතුර, නැඟෙනහිර යුද ගැටුම් පැවැති පසුගිය 2006 වසරේ ජුනි මස 15 වැනිදා කොටි ත්‍රස්තවාදීන් විසින් කැබිතිගොල්ලෑව, යකාවැව ප්‍රදේශයේදී අහිංසක නිරායුධ මගීන් පිරිසක් ගමන් ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ඉලක්ක කොට පුපුරවා හරිනු ලැබූ ක්ලේමෝ බෝම්බයකට හසුවීමෙන් දිවි පිදූ මගීන් සිහි කර එම ඛේදවාචකය සිදුවූ ස්ථානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ස්මාරකයක් ඉදිකිරීමට තීරණය කොට ඇත.

ඒ අනුව එම ස්මාරකය සඳහා මුල්ගල් තැබීම මේ මස 15 වැනිදා පෙරවරුවේ හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

අනුරාධපුරය, කුරුන්දන්කුලමේ පිහිටි ඒ මහතාගේ නිවෙසේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කෙළේය.

එම ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් භික්‍ෂුන් වහන්සේ නමක් සහ කුඩා දරුවන් ඇතුළු සාමාන්‍ය වැසියන් හැත්තෑ දෙනකු දිවි පිදූ බවත්, ඉන් දිවි බේරාගත් බොහෝ දෙනෙක් සදාකාලික ආබාධිතයන් බවට පත්ව ඇති බවත් පැවැසූ මන්ත්‍රිවරයා කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව විහාරාධිපති විහාර හල්මිල්ලෑවේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි හැත්තෑ දෙනමක් මහා සංඝරත්නය එම විහාරස්ථානය වැඩම කරවා බස් බෝම්බයෙන් දිවි පිදූ සියලුම දෙනාට පින් පමුණුවා දිවා දානමය පින්කමක් පවත්වා අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ස්මාරකය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ කටයුතු සිදු කිරීමට නියමිත බවද පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon