විවාහ දෙකක් කරගත් අයෙක් තෙවැනි විවාහයක් කරගන්නට යෑමේදී ගුටිබැට හුවමාරුවක්

  👤  2674 readers have read this article !
By mawbima 2018-09-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වවුනියාවේ කුමාන්කුලම ප්‍රදේශයේ අයකුගේ විවාහ මංගල උත්සවයක් 12දා ගුටිබැට හුවමාරුවකින් කෙළවර වී මනාලයා සහ තවත් අයකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

කලින් විවාහ දෙකක් සිදුකරගත් ගුරුවරයකු සිය තෙවැනි විවාහය වවුනියාව කන්දසාමි කෝවිලේ සිදුකරමින් සිටියදී දෙවැනි විවාහයේ බිරිය හා ඇයගේ ඥාතීන් මනමාලයා වෙත පහරදීම නිසා මේ තත්ත්වය උදාවිණි.

පළමුව යාපනය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී දරුවන් දෙදෙනකු සිටින තැනැත්තකු අදාළ පළමු විවාහයේ බිරිය අතහැර පැමිණ අනතුරුව කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී ඇති අතර එම විවාහක කාන්තාවද අතහැර තෙවැනි වරට වවුනියාව කුමාන්කුලම ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහවීමට කෝවිලට පැමිණි අවස්ථාවේදී මේ පහරදීම සිදුව තිබේ.

එම අවස්ථවේදී දෙවැනි විවාහයේ කාන්තාව හා ඇයගේ ඥාතීන් පැමිණ එම පුද්ගලයාට පහරදීම හේතුවෙන් තෙවැනි විවාහය නැවැත්වීමට සිදුවිණි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙවැනි විවාහයේ බිරිය මෙසේ සඳහන් කළාය. 'මේ ඉන්නේ මගේ මහත්තයා. මෙයා මීට පෙර යාපනය ප්‍රදේශයේ කාන්තාවක් එක්ක විවාහ වෙලා හිටියා. ඒ විවාහයේ කාන්තාව එක්ක අවුරුදු හතරක් ඉඳලා ළමයි දෙන්නෙක් එක්ක ඒ කාන්තාව තනි කරලා ඇවිත් මාව කසාද බැඳ ගත්තා.

මාව කසාද බැඳලා අවුරුදු දෙකක් විතර ඉඳලා දැන් මාවත් අතහැරලා ඇවිල්ලා වවුනියාව ප්‍රදේශයේ කාන්තාවක් එක්ක විවාහ වෙන්න සූදානම් වෙනවා.
මම විවාහ වුණාට පස්සේ මගෙන් දෑවැද්දකුත් අරගත්තා. දැන් මාව අතහැරලා ඇවිල්ලා වෙන කාන්තාවකගෙන් දෑවැද්ද අරගෙන මඟුල් කන්න සූදානම්. මම හා කලින් විවාහයේ බිරිය මේ ගැන යාපනය හා කිලිනොච්චිය පොලිසිය වෙත පැමිණිලි පවා ඉදිරිපත් කරලා තිබෙනවා.
සිය දෙවැනි බිරිය මේ පුද්ගලයාගේ තෙවැනි විවාහය වෙත පැමිණීමත් සමඟ අදාළ පුද්ගලයා විවාහ චරිත්‍ර නවතා විවාහ ශාලාවෙන් එළියට පැමිණි අතර එහිදී අදාළ පුද්ගලයා වෙත දෙවැනි විවාහයේ බිරිය හා ඇයගේ ඥාතීහු පහරදීම සිදුකළහ.

අදාළ පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයාට තෙවැනි විවාහය සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් හටගැනිණි.

මේ සම්බන්ධයෙන් වවුනියාව පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර පොලිසිය අදාළ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon