පන්සල්-පල්ලි-කෝවිල් ඔක්කොම ඊනියා දේශපාලනඥයන්ගේ ඡන්ද බැංකු වෙලා

  👤  2785 readers have read this article !
By mawbima 2018-09-14

පුරවැසියන්ගේ නිහඬ බව සහ ආගමික සංස්ථාවල තිබෙන්නා වූ නිවට නියාලු ප්‍රතිපත්තිය නිසා මේ රටේ ව්‍යවස්ථාදායකය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සහ මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික මංජුල ගජනායක පැවැසුවේය.

මෙරට ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් රාජ්‍ය භාණ්ඩාගාරය භක්ෂණය කරන පාෂාණ භූතයන් පිරිසක් පමණක් බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඔවුන්ගේ කාර්යභාරය නිසි ලෙස නොකරන්නේ නම් ඒ වෙනුවෙන් නැඟී සිටිය යුත්තේ මේ රටේ ආගමික සංස්ථාව බවත් ඔහු පැවැසුවේය.

මාර්තු 12 ව්‍යාපාරය පෙරේදා (12දා) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී මංජුල ගජනායක මහතා මෙසේද පැවැසීය.

අපි ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා අස්ගිරි පාර්ශ්වයට, මල්වතු පාර්ශ්වයට, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි නිකායට, බිෂොප් මැඳුරට, දවටගහ පල්ලියට, මේ හැම ආගමික සංස්ථාවකටම අපි කියනවා මේ වනවිට ශ්‍රී ලංකාව විනාශයේ අබිමුව තියෙනවා.

විශේෂයෙන්ම එයට හේතු වන්නේ මැති, ඇමැතිවරුන්ගේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ හුදු කාර්යභාරය වෙලා තියෙන්නේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරු පිරිසක් බවට පත් වී තිබීම පමණයි. මන්ත්‍රිවරුන් කරන්නේ ව්‍යවස්ථා අණ පනත් සකස් කිරීම නොවෙයි. කොටහළු මංගල්‍යයේ සිට අවමංගල්‍යයට සහභාගි වීම දක්වා වූ පුංචි පුංචි සිල්ලර වැඩවලට දායකත්වය දැක්වීම පමණයි. මේක තමයි බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සිරිත.

ආගමික සංස්ථාවේ නායකයන් කරන්නේ මේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට පිරිත් පැන් ඉහිනවා. යාඥා කරනවා විතරයි. පුරවැසියන්ගේ නිහඬතාව සහ ආගමික සංස්ථාවල තිබෙන්නා වූ නිවට නියාලු ප්‍රතිපත්තිය නිසා ව්‍යවස්ථාදායකය හරියට ක්‍රියා කරන්නේ නැහැ. තමන් ඉදිරියට එන ව්‍යවස්ථාදායක සාමාජිකයකුට හැසිරීම පිළිබඳ කියා දෙන්නට කශේරුකාවක් ආගමික නායකයන්ට නැති නම් අනෙකුත් සෙසු පුරවැසියන් මොනවා කරන්නද?
අපිට පැහැදිලිව පෙනී යන දෙයක් තමයි බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හෘද සාක්ෂිය අහිමි වූ පිරිසක් බවට වේගයෙන් පරිවර්තනය වෙමින් තිබෙනවා.

මේ රටේ ආගමික සංස්ථා අසමත් වෙලා තියෙනවා තමන් ළඟට පැමිණෙන දේශපාලකයන්ට නිවැරැදි මඟ කියා දෙන්න. ඉතාම සුළුතරයක් ආගමික නායකයන් යම් වරප්‍රසාදවලට යට වී තිබෙනවා. ආගමික නායකයන් පිල්වලට බෙදී තිබෙනවා. පන්සල් කියන්නෙ ඡන්ද බැංකු, පල්ලි කියන්නෙ ඡන්ද බැංකු, කෝවිල් කියන්නේ ඡන්ද බැංකු. එම ආගමික නායකයෝ කියන විදියට ජනතාව පෙළගැසී සිටිනවා පාලකයන් පත් කරන්න. අපි කියනවා මේ නායකත්වය ගන්න. හැබැයි මමයි රජා කියන සංකල්පයෙන් බැහැර වෙන්න කියලා අපි ආගමික නායකයන්ට කියනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි,
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වගකීම වෙන්නේ රටේ මූල්‍ය පාලනය, නීති සම්පාදනය සහ රට වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය. අවාසනාවට මේ කාරණා ගැන දැනුවත්ව මන්ත්‍රිවරුන් මැදිහත් වනවාද කියන ගැටලුව තියෙනවා. පාර්ලිමේන්තුවේ ගණපූරණය නොමැති වීම ප්‍රධාන ගැටලුවක්. මාසෙකට දින 7ක් හෝ 8ක් රැස්වෙන පාර්ලිමේන්තුව ගණපූරණය හෙවත් 20 දෙනකු නොමැති වීම නිසා කල්දාන්න වෙනවා නම් ඒක ඉතා කනගාටුදායක තත්ත්වයක්. මන්ත්‍රිවරු සභාවට ආවත් නාවත් එක දිනකදී පාර්ලිමේන්තුව සඳහා වැයවෙන මුදල ලක්ෂ හතළිස් පහක් පමණ වෙනවා. ඒවාට වැය කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 225ක් ඉන්නවා. පළාත් සභාවේ මන්ත්‍රිවරු 455ක් ඉන්නවා. පළාත් පාලන ආයතනවල 8,535ක් ඉන්නවා.

මුළු මහජන නියෝජිතයන් ප්‍රමාණය 9,215ක් ඉන්නවා. සාමාන්‍යයෙන් ජනගහනයෙන් 2,170කට එක මහජන නියෝජිතයෙක් ඉන්නවා. අවාසනාවකට මේ අයගේ බහුතරයක් ඔවුන්ගේ වගකීම හරියට ඉටු කරන්නේ නැහැ.

ජනතාව තමන්ගේ නියෝජිතයාව පාර්ලිමේන්තුවට යවලා ඒ නියෝජිතයා ප්‍රතිපත්ති සම්පාදනයට යනවාද ඔහු රටේ මූල්‍ය කළමනාකරණය කෙතරම් හොඳට කරනවාද යන්න පිළිබඳ සෙවීමක් කරන්නේ නෑ. ජනතාව බලන්නේ මන්ත්‍රිතුමා අපේ මළ ගෙදරට, මඟුල් ගෙදරට එනවාද පාර හදලා දෙනවාද ගොඩනැඟිල්ල විවෘත කරන්න එනවාද කියලා විතරයි. මේක බරපතළ ප්‍රශ්නයක්. ජනතාව ඡන්ද දායක භූමිකාවෙන් එළියට ගිහිල්ලා පුරවැසියෝ හැටියට මේවා සොයා බලන තාක්කල් මේ තත්ත්වය අපිට වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ.
උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon