සාම්ප්‍රදායික කලාකරුවන්ගේ හැකියාවන් අනාගත පරපුරට ගෙනයෑම අභියෝගයක්- කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ

  👤  2513 readers have read this article !
By mawbima 2018-09-14

දෙනගම ධම්මික රණවීර

ඡායාරූප - සරත් කුමාර

සාම්ප්‍රදායික කලාකරුවන්ගේ නිර්මාණ අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කිරීමත් අනාගත පරපුරට එම හැකියාව ගෙන යන්නේ කෙසේද කියන අභියෝගයත් තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කෙළේය.

ඔහු එම අදහස් පළ කළේ පෙරේදා (12දා) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව කලාකරුවන්ට ස්වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින්ය. රුපියල් ලක්ෂ 5ක් සමඟ ස්වර්ණ සම්මාන මෙහිදී සාම්ප්‍රදායික අංශය වෙනුවෙන් බුද්ධික බාලසූරිය මහතා සහ නූතන අංශය වෙනුවෙන් සමන් කුමාර මහතාටද හිමිවිය.

වැඩිදුරටත් බුද්ධික පතිරණ මහතා මෙසේද පැවැසීය. 'හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ප්‍රදර්ශනය ආරම්භ කළා. ඔවුන්ගේ ඇතැම් නිර්මාණවල විකිණීමට මිලක් සඳහන් වුවත් එය සංකේතයක් පමණයි. අපේ සාම්ප්‍රදායික උරුමයන් කියන්නෙ රුපියල් සත පිළිබඳ ගනුදෙනුවකට නොවෙයි. ඒත් කලාකරුවන්ගේ ජීවන අරගලය වෙනුවෙන් දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළක් සකස් කිරීමද අවශ්‍යයි.'

ඒ වගේම සාම්ප්‍රදායික කලාකරුවන්ගේ නිර්මාණ අතරමැදියන්ගේ සූරා කෑම්වලින් ආරක්ෂා කර ගැනීමත් අත්‍යවශ්‍ය කරුණක්. කලාකරුවා රුපියල් දහසකට මිල නියම කරන විට තැරැව්කරුවන් සංචාරකයන්ට ඊට වඩා දෙතුන් ගුණයක මිලක් නියම කරනවා. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය යොදා ගනිමින් අතරමැදියන්ගේ ග්‍රහණයෙන් කලාකරුවන් ආරක්ෂා කරගත හැකියි.

ෆේස්බුක් තහනම් කරනවාට මා නම් කැමැති නැහැ. ගුවන් යානා කඩා වැටුණම ගුවන් යානා තහනම් කරන්නෙ නැහැ.

එවැනි තාක්ෂණයක් අපි දියුණුවට භාවිත කළ යුතුයි. එදා තැරැව්කරුවන් දළදා මාලිගාව කියල සංචාරකයන්ට වෙනත් පන්සල් පෙන්නුවා. තාක්ෂණික දියුණුව නිසා අද එහෙම කරන්න බැහැ. ඒ නිසා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සුරක්ෂිතතාවට අපි
තාක්ෂණය භාවිත කළ යුතුයි.

'චිත්‍රපට කර්මාන්තයට අත් වූ ඉරණම රූපවාහිනි, ගුවන් විදුලිය, පුවත්පත් වැනි සාම්ප්‍රදායික මාධ්‍යටත් අත් වෙනවා. දැන් ජංගම දුරකථනයෙන් සියල්ල බලා ගන්න පුළුවන්. ඒ නිසා එම සාම්ප්‍රදායික ජනමාධ්‍ය එම මෙවලම් වෙත අවතීර්ණ වී තිබෙනවා. සාම්ප්‍රදායික නිර්මාණ ආරක්ෂා කර ගැනීමටත් අප තාක්ෂණය භාවිත කළ යුත්තේ ඒ නිසයි.'

'කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං, ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි බෝගොල්ලාගම යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.
ජාතික ශිල්ප සභාව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කළ ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය 2018 අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධාන්තවයෙන් ඊයේ (12 වැනිදා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon