නිවාස-ගොඩනැඟිලි ඉදිකිරීමේ ප්‍රතිපත්තියේ දුර්වලතා හේතුවෙන් ඉඩම් ගැන ගැටලු මතුවුණා ආණ්ඩුව මත කුණු කඳු කිහිපයක් කඩාගෙන වැටුණත් අපි ඔළුව ඉස්සුවා- මෙරට නිවාස සහ ගොඩනැඟිලි ඉදිකිරීමේ ප්‍රතිපත්තියේ තිබුණු දුර්වලතාවන් හේතුවෙන් සහ එම නිදහස වැරැදි අන්දමින් භාවිතයට ගැනීම හේතුවෙන් ඉඩම් පිළිබඳ ගැටලු රැසක් මතුවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය.

  👤  2490 readers have read this article !
By mawbima 2018-09-14

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මුල්ලේරියාව මණ්ඩාවිල ප්‍රදේශයේ ඉදිකළ ලේක් කේ‍රස්ට් රෙසිඩන්සිස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට පෙරේදා එක්වෙමිනි.

පරිත්‍රාණ ආශීර්වාද මධ්‍යයේ සමරු ඵලකය නිවාරණය කරමින් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිවරයා සංකේතාත්මකව එහි එක් නිවෙසක් විවෘත කිරීමටද එක් විය.

නිවාස සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේද කීය.

අපේ රටේ පැහැදිලි ජාතික නිවාස ඉදිකිරීමේ ප්‍රතිපත්ති නොතිබූ යුගයක් අවසන් කරමින් නිවාස ඉදිකිරීමේ ජාතික ප්‍රතිපත්තිමය සැලසුම් ක්‍රියාත්මක වන කාලයක් විදියටයි මේ යුගය අපි දකින්නේ. වැඩි වන ජනගහන වර්ධනයත් සමඟ තිබෙන භූමි ප්‍රමාණය ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත්. ආහාර නිෂ්පාදනයට, පරිසර සංරක්ෂණයට, රාජ්‍ය හා පොදු ගොඩනැඟිලිවලට, පෞද්ගලික නිවාසවලට අපේ භූමියේ තිබෙන සුළු ඉඩම් ප්‍රමාණය එහි සීමාවන් කොහෙද කියන එක අපි තවමත් තේරුම් අරගෙන නැහැ. අපේ රටේ ගොඩනැඟිලි ඉදිකිරීම පිළිබඳව ප්‍රතිපත්ති තිබුණත් බොහෝ අය තවමත් ඒවා පිළිගන්න ලෑස්ති නෑ. ගොඩනැඟිලි ඉදිකිරීම් ප්‍රතිපත්තියේ තිබෙන දුර්වලතාවන් නිසා වැඩි වන ජනගහනය සමඟ ඕනෑම තැනක ඕනෑම ගොඩනැඟිල්ලක් හෝ නිවෙසක් හදාගෙන ඉන්න තිබෙන නිදහස වැරැදි විදියට පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඉඩම් ප්‍රමාණය වේගයෙන් අඩු වෙනවා. වැඩිවන ජනගහන වර්ධන වේගයට රටේ ඉඩම් වැඩි වෙන්නේ නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියට, කෘෂිකර්මාන්තයට, රටේ ජනගහනයට අවශ්‍ය ආහාර සඳහාත් ඉඩම් වෙන් කිරීම ඉතාම අත්‍යවශ්‍යයි.

කොළඹ නගරයේ පමණක් නොවෙයි ගාල්ල, රත්නපුරය, මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකළපුව, යාපනය වැනි අෑත ප්‍රදේශවලත් ඉදිකිරීම් පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. කොළඹින් අෑත ප්‍රදේශවලත් යම් ඉඩම් ප්‍රමාණයක් වෙන් කරගෙන නිවාස සහ අනිකුත් ගොඩනැඟිලි ඉදිකිරීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වෙන්න අපට සිද්ධ වෙලා තිබෙනවා. වැඩි වන ජනගහන වේගයට ඉඩම් ප්‍රමාණය වැඩි නොවීම පමණක් නොව ඉඩම් ප්‍රමාණය එන්න එන්න සීමා වීම එයට හේතුවයි. ඒ නිසා කොළඹින් පිට ප්‍රදේශවලත් නිවාස හිඟය වැළැක්වීම සඳහා තට්ටු නිවාස ක්‍රමය ඉතා අත්‍යවශ්‍ය වෙනවා.

අපේ වන ගනත්වය මේ වනවිට භූමියෙන් 28%ක වගේ ප්‍රමාණයක් තිබෙන්නේ. වාර්ෂිකව තිබෙන වන ගනත්වයෙන් 1.5%ක් පමණ සෑම වර්ෂයකම අඩු වෙනවා. වසර 10ක් පමණ යන විට රටේ වන ගනත්වය සියයට 16ක් 17ක් වගේ ප්‍රමාණයකට පහත බහිනවා. තව අවුරුදු 25කින් මේ තත්ත්වය වෙනස් වී රටම කාන්තාරයක් බවට පත්වෙන්න පුළුවන්. එවිට මැදපෙරදිග රටකයි අපේ රටෙයි වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. වනාන්තරය පිළිබඳව අපේ සංඛ්‍යා ලේඛන තොරතුරුවලට අනුව වනාන්තර වේගයෙන් විනාශ වෙනවා. ඒ නිසා පරිසර සංරක්ෂණය ඉතාමත් වැදගත්. භූමියේ වටිනාකම් ඉතාමත් වැදගත්. ගොඩනැඟිලි හැදීමේ ප්‍රතිපත්තිය ඉතාමත් වැදගත්. නිවාස ඉදිකිරීමේ ප්‍රතිපත්තිය ඉතාමත් වැදගත්. ඒ තුළයි අපි කටයුතු කිරීම අවශ්‍ය වන්නේ.

රාජ්‍ය ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී වර්තමාන ආණ්ඩුව විදියට අපි ලබාගත් ජයග්‍රහ
ණ රාශියක් තිබෙනවා. ඒ ජයග්‍රහණ අතරේ විසඳුණේ නැති ප්‍රශ්න අපි විසඳලා තිබෙනවා. ඇමැතිතුමත් මන්ත්‍රිතුමත් කොළොන්නාව කුණු කන්ද පිළිබඳව කතා කළා. අප කුණු කඳු කිහිපයකටම යටවෙලා ඒ කුණු කඳුවලින් ඔළුව උස්සපු ආණ්ඩුවක්. අපේ ආණ්ඩුව බලයට එනවිට තිබුණු ප්‍රධානම කුණු කන්ද තමයි ජාත්‍යන්තර කුණු කන්දෙන් රට බේර ගන්න එක. ජාත්‍යන්තර සංවිධාන අපෙන් අෑත් වෙලා හිටියේ.

ලෝකයේ ප්‍රබල රටවල් අපෙන් අෑත්වෙලා හිටියේ. අපිට ආධාර දෙන, මුදල් දෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ජයිකා, ජපන් ජාත්‍යන්තර බැංකුව, කොරියන් කොයිකා බැංකුව වගේම මේ රටේ මුස්ලිම් ජනතාවට ඇතිවුණු හිරිහැර නිසා සවුදි කුවේට් අරමුදල් සියල්ල නැවතිලා තිබුණේ. අපි ඒ සියල්ල දැන් නිවැරැදිව කරගෙන තිබෙන නිසා ඒ සම්පත් ලබාගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. අපි ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන තිබෙනවා. ජාත්‍යන්තර හොඳ හිත දිනා ගෙන තිබෙනවා.


පහන් විජේසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon