ප්‍රභාකරන්ගේ නූතන ප්‍රකාශකයන් වන ඊව්ඒ ඊළාම්වාදීන්ට ජවිපෙ අද වේදිකා හදනවා

  👤  2512 readers have read this article !
By mawbima 2018-09-14

ප්‍රභාකරන්ගේ නූතන ප්‍රකාශකයන් වන දෙමළ ජාතික සංවිධානයේද අරමුණ ඊළම බවත් ඊට වේදිකා තනන්නන්ගේ තත්ත්වයට අද වන විට ජනතා විමුක්ති පෙරමුණ ඇද වැටී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් පවසයි.

ඔහු මේ අදහස් පැවසුවේ පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
දෙමළ ජාතික සංවිධානය දේශපාලන මැදිහත්කරුවන් ලෙසින් ප්‍රභාකරන්ගේ ඊළාම් මතවාදය රැගෙන අන්තවාදීව කටයුතු කරද්දී මේ ආණ්ඩුව කිසි විටකත් ඒ සඳහා ලබාදිය යුතු සුදුසු ප්‍රතිචාරය ලබා නොදෙන බවද හෙතෙම පැවැසීය.

ඔහු එහිදී මෙසේද පැවැසීය.

උතුරු පළාත් සභාවේ රවිහරන් මන්ත්‍රිවරයා ඉදිරිපත් කළ යෝජනාවක තියෙනවා එය දෙමළ නිජ භූමියක් නිසා උතුරේ සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව පදිංචි කරවීම තහනම් කළ යුතුයි කියලා. මෙවැනි යෝජනා මේ ආණ්ඩුව පත් වීමෙන් පසු දිගින් දිගටම ඉදිරිපත් වුණා.

අවාසනාවකට වත්මන් ආණ්ඩුව ඒ සඳහා දැක්විය යුතු සුදුසු ප්‍රතිචාරයක් දක්වන්නට ඉදිරිපත් වන්නේ නැහැ.

මීට පෙර 2015 පෙබරවාරි 10 වැනිදා විග්නේශ්වරන් මහ ඇමැතිවරයා යෝජනාවක් ගෙනැවිත් සම්මත කරගත්තා මෙරට පැවැති සියලු ආණ්ඩු දෙමළ ජනතාව සමූල ඝාතනයට ලක් කළ බව. ඒ වගේම දෙමළ ජනතාවගේ මානව හිමිකම් සැලසුම් සහගතව උල්ලංඝනය කළ බව, වගේම උතුරු පළාතෙන් පරිබාහිරව මධ්‍යම පළාතේ කාන්තාවන් වඳභාවයට පත්කිරීමට බලහත්කාරයෙන් කටයුතු කළ බව. එදත් ආණ්ඩුව ඒ ගැන කිසි ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ. අද ඉදිරිපත් කරන යෝජනාවලට ප්‍රතිචාරයන් දක්වන්නෙත් නැහැ.

දෙමළ ජාතික සංවිධානයේ බෙදුම්වාදී දේශපාලනයත්, විපක්ෂ නායක ධුරයේ සහ නිල විපක්ෂයේ හිඳිමින් ආණ්ඩුවටත් සහයෝගය ලබාදෙමින් පූර්ණ වශයෙන් බලය ලබා ගැනීම සඳහා ඔවුන් දරන උත්සාහයත්, ජාත්‍යන්තර වශයෙන් 13 පූර්ණව බලාත්මක කළ යුතුය යන ජිනීවා යෝජනාත් සලකා බලමිනුයි ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ.
ඔවුන්ගේ මේ සංශෝධනය ගැන විජිත හේරත්, බිමල් රත්නායක වගේ මන්ත්‍රිවරු සහතිකයක් දෙනවා දැක්කා. ඔවුන් කියනවා මෙයින් පළාත් සභා ක්‍රමය ශක්තිමත් වීමක් හෝ බෙදුම්වාදය පෝෂණය වීමක් හෝ කිසිසේත්ම වෙන්නෙ නැහැ කියලා.

මේ ජවිපෙ දෙන සහතික අද පුස්කාපු සහතික බවට පත්වෙලා ඉවරයි.

දැන් ජවිපෙ කියනවනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මරාගෙන මැරෙන්න ලෑස්තියි කියලා. එදා සරත් ෆොන්සේකා මහත්තයාව ජනාධිපති කරවන්න ඔවුන් උත්සාහ කරද්දී ඒ ජනාධිපතිවරණ සටනේ කිසිම තැනක ජවිපෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනයි කියලා කිව්වෙ නෑ. මේ නරක් වෙච්ච විධායක ජනාධිපති ක්‍රමය අන්ත දූෂිතයි කියන විධායක ක්‍රමයට මිලිටරි නායකයෙක් ගේන්නයි එදා ජවිපෙ උත්සාහ කළේ. එදා එම ධුරය අහෝසි කිරීමක් ගැන සාකච්ඡා කළේ නැහැ. ඔන්න ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත. දැන් පැහැදිලියි ආණ්ඩුව ගහන්න හදන ගේම. ජිනීවා යෝජනා අනුව 13 පූර්ණ වශයෙන් බලාත්මක කරන්න ආණ්ඩුවට ඕන. තියෙන බාධක ඉවත් කිරීමට කෙළින්ම පනතක් ගෙනාවොත් එයට විරුද්ධව ඇතිවන ජනමතය ප්‍රබල නිසා බොහෝවිට විය හැක්කේ 20 අස්සේ හංගලා ගෙන ඒමක්. මොකද මෙයාලා හැමදාම නංගි පෙන්නලා අක්කා දෙන වැඩේ කළේ. හිටපු ජනාධිපතිවරයා හින්දු පුවත්පතට ලබාදුන් ප්‍රකාශය පිළිබඳ එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ප්‍රචාරක ලේකම්වරයා පැවැසුවේ, ජනතාව ඉදිරි ජනාධිපතිවරයා ලෙස ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ බවත් ඒ අනුව ඇතැම්විට හිටපු ජනාධිපතිවරයා ඔහුව අනුමාන කොට එසේ කියන්නට ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ කැමැත්ත අනුව එය ඉදිරියේදී ප්‍රකාශ කරනු ඇති බවයි.

හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon