බඩු මිලට එරෙහි ‘ඇඳිරි නීතියක්’

  👤  2581 readers have read this article !
By mawbima 2018-09-14

අනුරාධා හේරත්

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිනෙන් දින ඉහළ දැමීමට එරෙහිව රටේ සියලු වෘත්තිකයන් ඒකරාශි වී ඇඳිරි නීති තත්ත්වයක් ඇති කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සූදානම් වේ.

ඒ සඳහා මැදිහත් විය හැකි බව ඒකාබද්ධ විපක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලට එම සංගමය ආරාධනයක් කරයි.
සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් 'මව්බිම'ට පැවැසුවේ අදාළ දිනය අද (14දා) තීරණය කරන බවයි.


මෙම ඇඳිරි නීතියේ මූලික අරමුණ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ස්ථාවර මිලක් ලිඛිතව පාලකයාගෙන් ඉදිරිපත් කරවා ගැනීම බව ඒ මහතා කීය.


ඒ අනුව ප්‍රවාහන, බේකරි, කර්මාන්ත, වෘත්තීය, සේවා ඇතුළු සමස්ත වෘත්තිකයන් එක් කරගන්නා අතර ඊට විපක්ෂයේ දේශපාලන පක්ෂවලටද එක් විය හැකි බවත්, එමඟින් අයාලේ යන වෙළෙඳ ප්‍රතිපත්තියට එරෙහි වන්නේ කවුරුන්දැයි දැකගත හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.


ඔහු චෝදනා කළේ භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් අතර අර්බුද හට ගැනීමට ඉඩදී ආණ්ඩුව ඉතා පහසුවෙන් බදු අය කරගන්නා බවත්, දිගින් දිගටම වෘත්තීය සංගම් කළ ඉල්ලීම් හා යෝජනා නොසලකා හැරීමට විරුද්ධව මේ මොහොතේ ප්‍රබල ජනබලයක් ගොඩනඟන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon