ආහාර වර්ජනයේ යෙදෙන එල්ටීටීඊ සාමාජිකයන් අට දෙනාගෙන් එක් අයකු වැලිකඩ බන්ධනාගාර රෝහලට

  👤  3391 readers have read this article !
By mawbima 2018-09-18

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුර ආහාර වර්ජනයක නිරතව සිටින එල්ටීටීඊ සාමාජිකයන් අටදෙනාගෙන් එක් අයකු පෙරේදා (16දා) වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකොට යැවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු යොදා තිබේ.

සිවසුබ්‍රමනියම් තිල්ලෙයිරාජා නමැති මේ එල්ටීටීඊ සැකකරු දැනට අවුරුදු අටක පමණ කාලයක් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔහු දරුණු ලෙස දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින නිසා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කොට යවා තිබේ.

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේදී ආහාර වර්ජනයක නිරතව සිටින එල්ටීටීඊ සාමාජිකයන් හමුවීමට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් හා උතුරු පළාත් සභාවේ කේ. ශාන්තන් මන්ත්‍රිවරයා අනුරාධපුර බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

මෙහිදී සුමන්තිරන් මන්ත්‍රිවරයා පවසා ඇත්තේ රජයෙන් මේ පිරිස නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු පියවරෙන් පියවර සිදු කරමින් සිටින නිසා වසර ගණනාවක්ම ඉවසාගෙන සිටි අන්දමට තවත් සුළු කාලයක් ඉවසා සිටින ලෙසයි. නමුත් ආහාර වර්ජනය අත්හැරීමට ඔවුන් එකඟ වී නොමැත.
මේ පිළිබඳව අනුරාධපුර බන්ධනාගාරයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරය ආරම්භ කෙරෙන විටම අනුරාධපුර බන්ධනාගාරයේ සිටින මේ සිරකරුවන් පිරිස ආහාර වර්ජනයක නිරත වන බවයි.
පසුගිය වසරේදී මාසයකට වඩා වැඩි කාලයක් ඔවුන් ආහාර වර්ජනයේ නිරත වුවත් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට කිසිදු බලපෑමක් සිදු නොවීමද විශාල ප්‍රශ්නයක් බව එම නිලධාරියා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon