උඩප්පුව පොලිසියෙන් තමන්ට අසාධාරණයක් කළැයි පවුලක සාමාජිකයන් විරෝධතාවක

  👤  3390 readers have read this article !
By mawbima 2018-09-18

හලාවත - ප්‍රසාද් පූර්ණමාල්

උඩප්පුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් තමන්ට අසාධාරණයක් කළ බව කියමින් බත්තුලුඔය ප්‍රදේශයේ පවුලක සාමාජිකයන් පිරිසක් පෙරේදා (16දා) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ.
මේ විරෝධතාවට හේතු වූයේ මේ අයට අයත්
වෙළෙඳසල තුළට කැබ් රථයක් කඩා වැදී වෙළෙඳසල මුළුමනින් විනාශ වී ගොස් එහි සිටි පුද්ගලයකුටද තුවාල සිදු වුවද උඩප්පුව පොලිසිය සිද්ධියට අදාළ රියැදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව පොලිස් ඇප මත නිදහස් කර යැවීමයි.

කොළඹ-පුත්තලම මාර්ගයේ තිබූ දැවැන්ත ගසක හැපී ගසද කඩාගෙන කැබ් රථය වෙළෙඳසල තුළට කඩා වැදීම හේතුවෙන් වෙළෙඳසල තුළ තිබූ සියලු උපකරණ හා භාණ්ඩ විනාශ වී ඇති අතර ගොඩනැඟිල්ලටද හානි සිදුව තිබේ. මේ හේතුවෙන් පවුල් දෙකක් ජීවත් වූ ආදායම් මාර්ගයද මුළුමනින් ඇනහිට ඇත.

තමන්ට සිදුවූ අලාභය රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න බව වෙළෙඳසල් හිමිකරු වන හිටපු යුද හමුදා සෙබළකු වන සිසිර කුමාර මහතා පැවැසීය.

රජයේ ප්‍රධාන ඇමැතිවරයෙක් වන රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා මේ ආකාරයෙන්ම අනතුරක් කළා. එහිදී නිවෙසේ සිටි කිසිවකුට තුවාල සිදු වුණේ නැහැ. නමුත් ඇමැතිවරයාගේ පුත්‍රයා කෙළින්ම ඉදිරිපත් කළේ අධිකරණයට ඔහු රෝහල්ගතව සිටියත් එහෙම කළා. පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරලා නිවෙසේ හානිය හා දේපොළ නැවත ලබා දුන්නා. ඊට වඩා බරපතළ අනතුරක් මේක. මේකෙදී මට තුවාල සිදු වුණා. රෝහල් ගත වෙලා හිටියා. නමුත් රියැදුරුට පොලිසියෙන් ඇප දීලා, මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නීති දෙකක්ද කියලා අහනවා.

ඊයේ පෙරවරුවේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් වෙළෙඳසල අසලින් ආරම්භ වූ විරෝධතාවට ප්‍රදේශවාසීන්ද එකතු වීම හේතුවෙන් විරෝධතාකරුවන් කොළඹ-පුත්තලම ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවයේ නිරත විණි. පසුව උඩප්පුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජී.සී.ආර්. ගුණතිලක මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ විරෝධතාකරුවන් මාර්ගයේ රැඳී විරෝධය දැක්වුවහොත් අධිකරණයට ඉදිරිපත් කරන බව පැවැසීය. පොලිස් ඇප ලබා දීම තමන්ට ඇති බලතල අනුව සිදු කළ බව පැවැසූ පොලිස් ස්ථානාධිපතිවරයා අනතුර සිදු කළ කැබ්රථය හා රියැදුරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කරන බවද පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon