ජේ.ආර්. ජයවර්ධන චරිතය නූතන දේශපාලනඥයන්ට හොඳ ආදර්ශයක්

  👤  3442 readers have read this article !
By mawbima 2018-09-18

විශිෂ්ට ගණයේ දේශපාලනඥයකු, රාජ්‍ය නායකයකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා තුන්කල් දැක්මක් ඇති ප්‍රජාතන්ත්‍රවාදය ගරු කළ නායකයකු බවත්, එතුමා එක්සත් ජාතික පක්‍ෂයටත් අපේ රටටත් ජනතාවටත් සිදු කළ මෙහෙවර ජනතා හදවත්වල නොමැකෙන ලෙස සටහන්වී ඇති බවත් එ.ජා.ප. මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරයි.

පිටකෝට්ටේ ජාතික සේවා සංගම් මූලස්ථානයේදී ඊයේ (17දා) පෙරවරුවේ පැවැති ජේ.ආර්. ජයවර්ධන 112 වැනි ජන්ම දින සැමරුම නිමිත්තේ එම ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඉවසීම හා නිහතමානී බව ප්‍රගුණ කළ ජේ.ආර්. ජයවර්ධන චරිතය නූතන දේශපාලනඥයන්ට හොඳ ආදර්ශයක් ගත හැකි ලොවම පිළිගත් රාජ්‍ය නායකයකු බවත් දෙවැනි ලෝක යුද්ධයේදී ජපානයේ ක්‍රියාකලාපයට සමස්ත ලෝකයම එරෙහි වෙද්දී ජපානයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ඔහු ජපානයේ පමණක් නොව සියලුම රටවල ගෞරවයට පාත්‍ර වූ බවත් ජපානය අදත් ශ්‍රී ලංකාව සුවිශේෂී ස්ථානයක තබා ගරු කරන්නේත් එතුමා කළ මෙහෙවරට කෘතගුණ සැලකීමක් ලෙස බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එජාපයට අනුබද්ධ ජාතික සේවක සංගමය 1977 දී ප්‍රතිනිර්මාණය කර එය ශක්තිමත් දැවැන්ත වෘත්තීය සමිතියක් බවට පත්කර සාමාජිකයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරක්‍ෂිත කිරීමට එතුමා කටයුතු කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා නිදහස් වෙළෙඳ කලාප, මහවැලි කඩිනම් ව්‍යාපාරය, නිවාස ව්‍යාපාර ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවකින් රටේ සංවර්ධනය ඉහළට ඔසවා තැබූ බවත් අදත් එහි ප්‍රතිලාභ ලබන මෙරට ජනතාව එතුමාට සදා ණය ගැති බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සිරිනාල් ද මැල්, ජාතික සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පාක්ෂිකයෝ විශාල පිරිසක් සහභාගිව සිටියහ.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon