කොළොන්නාවේ සිරි සුමංගල හිමියෝ මහ නායක පදවියෙන් පිදුම් ලබති

  👤  3451 readers have read this article !
By mawbima 2018-09-18

උපතිස්ස පෙරේරා

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ සිරිසුමන පාර්ශ්වයේ 9 වැනි මහ නායක පදවියට පත් වූ ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල හිමිපාණන් වෙත එම පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ද විජිනිපත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද පෙරේදා (16දා) පෙරවරුවේදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ගාම්භීරාකාරයෙන් පැවැති උත්සවයේදී පිරිනමනු ලැබීය.

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි නාහිමි, ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ අනෝමදස්සි අනුනාහිමි ප්‍රධාන තෛ්‍ර නිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

මෙම උත්සවයේ ප්‍රධාන අනුශාසනාව අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් සිදුකළ අතර ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ ද අනුශාසනාවක් සිදුකළහ. බුරුම රාජකීය ඥාතිත්වයක් ඇති දූත පිරිසක් විසින් එරට චාරිත්‍රානුකූලව ශ්‍රී සන්නස් පත්‍රය වැඩම වූ අතර තායිලන්ත බෞද්ධ දූත පිරිසක් විසින් විජිනිපත උත්සව ශාලාව වෙත වැඩම කරනු ලැබූහ. එහිදී දෙස් - විදෙස් සංඝරත්නය සහ සැදැහැවතුන් විසින් අභිනව මහ නාහිමිපාණන් වහන්සේ වෙත ප්‍රසාද පූජා සිදුකරන ලදහ. ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල නාහිමියන් විසින් විවිධ භාෂාවලින් රචිත ධර්ම ග්‍රන්ථ කට්ටල තෛ්‍රනිකායික මහා නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් වෙත අභිනව මහ නාහිමිපාණන් වහන්සේ විසින් පිළිගන්වනු ලැබීය.

කථානායක කරු ජයසූරිය, හිටපු කථානායක චමල් රාජපක්‍ෂ, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල හා පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි ආරාධිතයන් රැසක් මෙම නායක මහෝත්සවය වර්ණවත් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon