වසර 27ක් තිස්සේ දඬුවම් විඳින තම පුතු නිදහස් කරන්නැයි රජීව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ මව ඉල්ලයි

  👤  3385 readers have read this article !
By mawbima 2018-09-18

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ මව තම පුතා නිදහස් කරන මෙන් ඉල්ලා යළිත් වරක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු විශාල පිරිසක් වෙත සැප්තැම්බර් 13දා ලියුමක් යවා තිබේ.

රජීව් ගාන්ධි හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතව සිටින තිල්ලේයාම්බලම් ශාන්තන් නමැත්තාගේ මව වන යාපනයේ පදිංචි තිල්ලේයාම්බලම් මහේස්වරී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට යවන ලද ලිපියේ සඳහන් කොට ඇත්තේ තම පුතා මේ වන විට වසර විසිහතක්ම මේ සිද්ධිය නිසා බන්ධනාගාරගතව සිටින බවයි.

මේ වන විට තමන්ට වයස අවුරුදු හැත්තෑ දෙකක් වන බව පවසන මහේස්වරී තමන් මිය යෑමට පෙර තම පුතා නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
මීට පෙර රජීව් ගාන්ධි මහතාගේ පවුලේ උදවියටද ලිපියක් යවා ඇති මහේස්වරී තම පුතා නිදහස් කරන මෙන් ඉල්ලා තිබිණි.

ඊට පිළිතුරුද රජීව් ගාන්ධි මහතාගේ පවුලේ සාමාජිකයන්ගෙන් ලිපියක් යාපනයේ මහේස්වරීට ලැබී තිබූ අතර එහි සඳහන්ව තිබුණේ ඇගේ ඉල්ලීම ඉන්දීය බලධාරීන් වෙත යොමුකළ බවයි.
තම ස්වාමිපුරුෂයා අහිමි වීමෙන් පසුව තමන් දැනට හුදෙකලාව ජීවත් වන බව පවසන රජීව් ගාන්ධි මහතා ඝාතනය කළ බවට චෝදනා ලැබ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින තැනැත්තාගේ මව තවදුරටත් කියා සිටින්නේ ඔහුගේ පුතාට රජීව් ගාන්ධි මහතා මරා දැමීමට කිසිදු වුවමනාවක් නොතිබූ බවයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කරන ලද බලපෑම් මත ඔහු මේ සිද්ධියට හවුල් වී ඇත්තේ ඔහු මරා දමන බවට කළ තර්ජනය නිසා යැයි කියා සිටින ඝාතකයාගේ මව වසර විසිහතක්ම තම පුතා ඊට දඬුවම් විඳ ඇති නිසා ඔහු නිදහස් කරන මෙන් ඇගේ ලියුම මඟින් ඉල්ලා තිබේ.

යාපනයේ මහේස්වරී විසින් ලියන ලද එම ලිපියේ පිටපත් ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙතද යොමුකොට ඇති අතර ඒ මඟින් ඉල්ලා ඇත්තේ ඉන්දීය බලධාරීන් දැනුම්වත් කොට තම පුතාට නිදහස ලබා දෙන ලෙසයි.
මේ අතර රජීව් ගාන්ධි මහතාගේ පවුලේ උදවිය මීට පෙර අවස්ථාවක ඉන්දීය මාධ්‍යවලට පවසා තිබුණේ රජීව් ගාන්ධිගේ ඝාතකයන් නිදහස් කිරීම පිළිබඳව ඔවුන්ගේ අකැමැත්තක් නොමැති බවයි. එය ඉන්දීය අධිකරණයේ ක්‍රියාදාමයක් ලෙසද රජීව් ගාන්ධි මහතාගේ පවුලේ උදවිය පෙන්වා දී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon