ගෙල වැලලාගෙන මියගිය බවට සැක අයකුගේ මළසිරුර භාරගන්න බිරියන් දෙදෙනෙක් ඇවිත් - මරණය සැක සහිත බැවින් වැඩිදුර පරීක්ෂණ පවත්වා හේතුව අධිකරණයට දන්වන්නැයි අධිකරණ වෛද්‍ය නිලධාරිට නියෝග

  👤  3373 readers have read this article !
By mawbima 2018-09-18

මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල

ගෙල වැලලාගෙන මියගිය බවට සැක පුද්ගලයකුගේ මළසිරුර ලබා ගැනීමට බිරින්දෑවරුන් දෙදෙනකු කළ උත්සාහයේදී එම මළසිරුර මරණකරුගේ පළමු විවාහයේ බිරියට ලබා දීමට තීන්දු කළ මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව ලබන 26 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළේය.

මිනුවන්ගොඩ කළපුගොඩ අරලිය උයන ප්‍රදේශයේ නිවෙසක දෙවැනි විවාහක බිරිය සමඟ ජීවත්ව සිටියදී නිවෙස තුළ ගෙල වැලලාගෙන සිටි බව පවසමින් බන්දුල හේලින්ද අමරසිංහ (48) යන අයව 15 වැනිදා පෙරවරුවේ මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි හෙයින් එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙස මිනුවන්ගොඩ පොලිසිය 15 වැනිදා 'බී' වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් අනතුරුව මළසිරුර භාර ගැනීම සඳහා බිරින්දෑවරුද දෙදෙනෙක් ඉදිරිපත් වූහ.
එහිදී මියගිය අයගේ පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී නොමැති බවට අනාවරණය වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ පළමු විවාහක බිරියට දේහය භාර දෙන ලෙසට වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.

වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත මළසිරුර මිනුවන්ගොඩ දිසා රෝහලින් ගම්පහ මහ රෝහල වෙත රැගෙන යෑමට මිනුවන්ගොඩ පොලිසිය කටයුතු කර තිබූ අතර එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. එම මරණය සම්බන්ධයෙන් වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණය ලබන 26 වැනිදාට නියම කෙරිණි.
ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ අධීක්ෂණයෙන් මිනුවන්ගොඩ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.බී. අබේරත්න, සැරයන් අබේරත්න (20305) සහ කොස්තාපල් කේ.යූ. ලක්‍ෂ්මන් (55443) යන නිලධාරීහු එම සැකකටයුතු මරණය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon