ක්‍රීඩා ඇමැතිගේ නියෝගයෙන් බැඩ්මින්ටන් තේරීම් කමිටුව අහෝසියි

  👤  3398 readers have read this article !
By mawbima 2018-09-18

විචිත්‍ර වීරසිංහ

මියන්මාරයේදී පැවැත්වෙන අවුරුදු 15න් හා 17න් පහළ ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේදී ක්‍රීඩක-ක්‍රීඩිකාවන් කිහිප දෙනකුට යම් අසාධාරණයක් සිදුවී ඇති බව පෙනී ගොස් ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි බැඩ්මින්ටන් තේරීම් කමිටුව අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා නියෝග කර ඇතැයි "මව්බිම"ට වාර්තා වේ.

ඔක්තෝබර් 3 වැනිදා සිට 7 වැනිදා දක්වා මියන්මාරයේ මන්ඩලේහි පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් තේරීම් කමිටුව විසින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් තෝරාගත් නමුත් එම තෝරාගත් පිරිස අතරට වෙනුර මොවින්, දෙවුම් විතාරා හා කිවිනි සුලාරා යන ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ මවුපියන් විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මේ පිළිබඳව විමසා බැලීම සඳහා ජාතික තේරීම් කමිටුව වෙත භාරදී ඇති අතර, මෙය විමර්ශනය කළ ජාතික තේරීම් කමිටුවට පෙනී ගොස් ඇත්තේ බැඩ්මින්ටන් තේරීම් කමිටුව විසින් කණ්ඩායම් තෝරාගැනීමේදී අනුගමනය කරන ලද නිර්නායක හා ක්‍රමවේදය සලකා බැලීමේදී සියලුම වයස් කාණ්ඩවලට එකම පිළිවෙතක් අනුගමනය නොකරමින් විවිධ පිළිවෙත් අනුගමනය කර ඇති බවය.

තවද අවුරුදු 17න් පහළ කේවල ඉසව්ව සඳහා සහභාගි වන වෙනුර මොවින් යන ක්‍රීඩකයා කේවල ශේ්‍රණිගත කිරීම් අනුව අවසන් සිවු දෙනා අතර සිටීනම් වෛද්‍ය උපදෙස් අනුව ඔහුව කණ්ඩායමට ඇතුළත් කර ගැනීම මෙන්ම එක් එක් වයස් කාණ්ඩ සඳහා වෙනස් පිළිවෙත් අනුගමනය කිරීම හේතුවෙන් අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා සහභාගි නොකිරීමට ජාතික තේරීම් කමිටුව විසින් තීරණය කර ඇති අතර, ජාතික තේරීම් කමිටුව මෙම තීරණයන් බැඩ්මින්ටන් සංගමය වෙත දැනුම් දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon