හඬ පට ලැබුණා: විමර්ශන කරනවා

  👤  3339 readers have read this article !
By mawbima 2018-09-18

අමිල අබේරත්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරයකු, ප්‍රකට පාතාල නායක "මාකඳුරේ මධුෂ්" ලවා ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණය කළා යැයි කියන සිද්ධියට අදාළ හඬ පට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සහ සිද්ධියටඅදාළ විමර්ශන පවත්වමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (17දා) දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 'බී' වාර්තාවක් ඉදිරිපත් කරමින් විමර්ශනයන්ට අදාළව අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටි අවස්ථාවේ එලෙස දැනුම් දෙනු ලැබිණි.
සිද්ධියේ පැමිණිලිකරු වන නාමල් කුමාර නමැත්තා විසින් සිද්ධියට අදාළ හඬපට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් පිළිබඳ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට දැනුම් දුන් බව, හෙළිකරමින් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අය මහනුවරදී පවත්වා ඇති මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට එම මාධ්‍ය හමුව ආවරණය කළ විද්‍යුත් මාධ්‍ය ආයතන 4කට නියෝගයක් නිකුත් කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර, එම ඉල්ලීම සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය එම මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට එම මාධ්‍ය ආයතන හතරට නියම කළාය.

මාධ්‍ය හමුව පවත්වා ඇති නාමල් කුමාර යන අය විසින් සිද්ධිය සම්බන්ධව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉකුත් 12 වැනිදා සිදුකළ ලිඛිත පැමිණිල්ලකට අනුව සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කර ඇති බවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර ඒ අනුව අරඹා ඇති විමර්ශනවලට අදාළව පැමිණිලිකරු වන නාමල් කුමාර යන අයගෙන් ඉකුත් 14 වැනිදා ප්‍රකාශ ලබාගත් බවද ප්‍රකාශ කර සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව විමර්ශන පවත්වා එහි ප්‍රගතිය වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට නියම කළ අතර, එතෙක් නඩුව වහා කැඳවීමට නියෝග කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි අයි.යූ.කේ. ලොකුහෙට්ටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ, උප පොලිස් පරීක්ෂක යන මහත්වරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙය වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon