මාරුව ලැබෙයි DIG නාලක ගැන කොමිසමේ තීන්දුව 20වැනිදා

  👤  3691 readers have read this article !
By mawbima 2018-09-18

චාමර අමරසූරිය

ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වන ලබන 20 වැනිදා (බ්‍රහස්පතින්දා) නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතව ඇතැයි එම කොමිසම් සභා ආරංචිමාර්ගයන් සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි චෝදනාවක් එල්ල වන නාලක ද සිල්වා මහතා අනිවාර්යයෙන් නිවාඩු යවනවාද, නැති නම් වැඩ තහනම් කරනවාද යන්න පිළිබඳ පොලිස් කොමිෂන් සභා විධායක මණ්ඩලයේදී එදින තීරණයක් ගැනීමට සාකච්ඡා කරන බවද එම ආරංචිමාර්ග පවසයි.

එසේම ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තොරතුරු තාක්ෂණ දිසාව වෙත තාවකාලිකව ස්ථාන මාරු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (17) නියෝග කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඔහුට එරෙහිව සිදු කෙරෙන විමර්ශන හේතුවෙන් ඔහුව වහාම ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන ලෙසට රහස් පොලිසිය ඉකුත් 15 වැනි දින පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබිණි.

එම ඉල්ලීම සලකා බලමින් පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුව සිදුකර ඇතැයිද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම සිදුවන විමර්ශනවලට අදාළව ඊයේ (17දා) පොලිස් අධිකාරි නිහාල් තල්දූව සහ වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත යන දෙදෙනාගෙන් රහස් පොලිසියේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

මීට අදාළ සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් මහතා හෙට (19දා) දින රහස් පොලිසිය වෙත ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කැඳවීමට නියමිතව ඇතැයිද එම ආරංචි මාර්ගයන් පවසයි.

එම නිලධාරීන් තිදෙනා ඇතුළු පොලිසියේ ජේ‍යෂ්ඨ නිලධාරීන් හත් දෙනකු, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක මහතා යන අය ඔවුන් දරන තනතුරුවලින් ඉවත් කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණය කළ බවට දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළිදරව්වක් කර තිබිණි.

ඔහු නම් අනාවරණය කළ සෙසු නිලධාරීන්ද රහස් පොලිසියට කැඳවා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ගයන් කියා සිටී.

මහනුවර පැවැති මාධ්‍ය හමුවේදී නාමල් කුමාර මහතා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් පාතාල නායක 'මාකඳුරේ මධුෂ්' ලවා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි හෙළිදරව් කිරීමත් සමඟ මෙම විමර්ශන කටයුතු ආරම්භ කෙරිණි.

චෝදනාවන් එල්ල කළ නාමල් කුමාර මහතාගෙන්ද දෙවැනි වරටත් රහස් පොලිස් නිලධාරීන් ඊයේ (17දා) දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

එම ප්‍රකාශය ලබා දීමටත් ඔහු සන්තකයේ ඇති හඬපට ඇතුළත් ජංගම දුරකථනය භාර දීමටත් නාමල් කුමාර මහතා ඊයේ (17දා) පෙරවරු 10.00ට පමණ රහස් පොලිසිය වෙත පැමිණියේය.

මෙකී විමර්ශනය රහස් පොලිසිය වෙත භාර දුන් ඉකුත් 14 වැනි දිනද රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් නාමල් කුමාර මහතා පදිංචි වරකාපොළ ප්‍රදේශයේ නිවෙසට ගොස් එදින මධ්‍යම රාත්‍රි 12 සිට පසුදින එනම් ඉකුත් 15 වැනි දින අලුයම 6 වන තෙක් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon