කඩාවැටීමේ අවදානමට ලක්ව ඇති කම්බි පාලම ගම්වාසීන් ප්‍රතිසංස්කරණය කරයි

  👤  3231 readers have read this article !
By mawbima 2018-09-19

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි

ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ පාලනය වන ගිනිගත්හේන හිටිගේගම, ගලගොඩහින්න ගම්මානයට කෙසෙල්ගමු ඔය හරහා පිවිසෙන අබලන් වී කඩා වැටීමේ අවදානමට ලක්වී ඇති කම්බි පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු එම කම්බි පාලම හරහා ගමන් කරන ගම්මාන රැසක පදිංචිකරුවන් එක් වී පෙරේදා (17දා) ආරම්භ කරනු ලැබීය.

මස්කෙළියේ සිට කැලණි ගඟ දක්වා ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය හරස් කරමින් 1955 වසරේදී ඉදිකරන ලද අඩි 275කින් සහ අඩි 22 උසකින් යුක්ත මෙම කම්බි පාලමේ අත්තිවාරම, යකඩ, පාලමේ ආරක්ෂිත කම්බි සහ පාලමේ ලෑලි තට්ටු දිරා දැඩි ලෙස අබලන් වී කඩා වැටීමේ අවදානමක් පැවතීම හේතුවෙන් එම පාලම හරහා ගමන් ගන්නා ගම්මාන රැසක පදිංචිකරුවන් දැඩි අසීරුතාවකට පත් වී සිටී.

වසර 15ක පමණ මෙම කම්බි පාලමේ කිසිදු නඩත්තු කටයුත්තක් සිදුනොකිරීම නිසා කම්බි පාලම වර්තමානයේ පවත්නා තත්ත්වය මත පාලම මතින් ගමන් කිරීමේදී ගම්වාසීන් සහ පාසල් සිසුන් කිහිපදෙනකු පාලම මතින් කෙසෙල්ගමු ඔයට වැටී තුවාල ලබා ඇති බවත්, කම්බි පාලමේ පවතින අබලන් තත්ත්වය පිළිබඳ ජනමාධ්‍ය මඟින් පසුගියදා ප්‍රචාරය වීමත් සමඟම ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියකු තමන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් එම කම්බි පාලම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකර දෙන ලෙසට ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් ලබාදෙන බවට එම නිලධාරියා තමන්ට පොරොන්දු වූ බවයි හිටිගේගම පදිංචි ධම්මික පරණගම මහතා කියා සිටියේ. මෙම කම්බි පාලම ගම්වාසීන් එක්ව ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා ලෑලි කපා ගැනීමට පාලම අසල පිහිටි රක්ෂිතයක් තුළ වූ ගසක් කපා ගැනීමට ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අවස්ථා කිහිපයකදී ලිඛිතව සහ මුණගැසී අවසර ඉල්ලා සිටියත්, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මේ වන තෙක් කිසිදු අවසරයක් නොදුන් බවද ධම්මික පරණවිතාන මහතා චෝදනා කර සිටී.

ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අවසරය නොලැබුණු නිසා ගම්වාසීන්ගේ පෞද්ගලික ඉඩම්වල තිබෙන ගස් ඉරා පාලමට අවශ්‍ය ලෑලි සපයා ගත් බවත් ගම්වාසීන්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් කම්බි පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු පෙරේදා (17දා) ආරම්භ කළ බවයි එම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නියැළී සිටි හිටිගේගම ගම පදිංචි අශෝක ධර්මබන්දු මහතා කියා සිටියේ.
හිටිගේගම, මොරතොටියාවත්ත, කෙසෙල්ආරාව, මගුරුමාදෙණිය ඇතුළු ගම්මානවලට පිවිසීමට ඇති කෙටිම සහ එකම මාර්ගය මෙම කම්බි පාලම මතින් පිහිටා ඇති බවත් එම කම්බි පාලම වෙනුවට ස්ථිර කොන්ක්‍රීට් පාලමක් කඩිනමින් ඉදිකර දෙන ලෙස ගම්වාසීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon