වඩා වැදගත් වන්නේ දරුවන් වෙනුවෙන් කරන ආයෝජනයයි

  👤  3147 readers have read this article !
By mawbima 2018-09-19

අපි සෑම විටම ආණ්ඩුවක් විදියට වගේම පුරවැසියන් විදියට කරන්නා වූ සියලු ආයෝජනවලදී වැදගත් වන්නේ දරුවන් සඳහා කරන්නා වූ ආයෝජනයි. රටක ශක්තිමත් ජාතියක් බිහිවන්නට නිරෝගීමත් සෞඛ්‍යසම්පන්න ජනතාවක් බිහිවන්නට ඕන. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට කරන ආයෝජන, නිදහස් අධ්‍යාපනයට කරන පුළුල් ආයෝජන තමයි අපිට අනාගතය පිළිබඳ වඩාත් බලාපොරොත්තු තබන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සියලු අංශ ශක්තිමත් කරන්න, පුළුල් කරන්නට, ප්‍රවර්ධනය කරන්න අපි සෑම විටම ආණ්ඩුවක් විදියට ක්‍රියා කරන බව ඔබ සෑම කෙනකුටම සඳහන් කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කීය.

30 වැනි මහවැලි ක්‍රීඩා සමාප්ති උත්සවය අමතමින් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැති උත්සව අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

මහවැලි ව්‍යාපාරයේ විශේෂ පිටුවක් පෙරළුණේ 1969 පොල්ගොල්ලෙන් මහවැලි ජලය උතුරට හැරවීමේ වේල්ලේ වැඩ ආරම්භ වීමත් සමඟයි. 1976 ජනවාරි මාසයේ අටවැනිදා මහවැලි ජලය පොල්ගොල්ලේ අමුණෙන් අනුරාධපුර, පොළොන්නරු රජරට ප්‍රදේශවලට එක්වීමත් සමඟ මහවැලියේ තවත් පියවරක් ඉදිරියට තැබීමට හැකි වුණා.

1977 බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ ගාමිණී දිසානායක ඇමැතිතුමා කඩිනම් මහවැලි වැඩසටහන පටන් ගනිමින් මේ රටේ මහවැලි සංවර්ධන ඉතිහාසයේ විප්ලවීය වෙනසක් සිදුකරනු ලැබුවා.
මහවැලි ව්‍යාපාරයේ කෘෂිකාර්මික සංවර්ධනය, ඒ තුළ ඇති වූ රටේ ආර්ථිකය ශක්තිමත් වීම, විදුලිබල උත්පාදනය, කර්මාන්තවල ප්‍රබෝධය සහ නවෝදය ඒ අතරට තමයි ගාමිණී දිසානායක ඇමැතිතුමා 1986 දී මහවැලි ක්‍රීඩා උළෙල පටන්ගත්තේ.

ගාමිණී දිසානායක ඇමැතිතුමා එදා පටන් ගත් මහවැලි ක්‍රීඩා 1986 අද අපි 30 වැනි වරට මේ ක්‍රීඩා උළෙල පවත්වනවා. මේ කාලසීමාව තුළ මගේ මතකයේ හැටියට අවුරුද්දක් දෙකක් මහවැලි ක්‍රීඩා උළෙල පවත්වා නැති අවස්ථා වාර්තා වෙනවා.
අපේ රටේ භූමියෙන් තුනෙන් එකක කොටසක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් වෙනවා. මේ තුනෙන් එකක කොටස ජාතික ආර්ථිකය ශක්තිමත් පදනමක් සඳහා කෘෂිකර්මාන්තය, වැවිලි, ධීවර ක්‍ෂේත්‍ර ඒ වගේම කර්මාන්ත විදුලිබල උත්පාදනය ඒ අංශ ගණනාවක් ඒ තුළ රටේ ආර්ථික ප්‍රබෝධය සහ නවෝදය සඳහා පුළුල් දායකත්වය දී තිබෙනවා.

මහවැලිය පිළිබඳව කතා කරන විට රටේ ආර්ථිකය, සංස්කෘතිය, ක්‍රීඩා
ක්‍ෂේත්‍රය වගේම මහවැලිය තුළින් මේ රටේ නව මහවැලි ශිෂ්ටාචාරයක් බිහි වී තිබෙනවා. ඒ නිසා අපිට ජාතික ආර්ථිකය, ජාතික සම්පත්, ජාතියේ පුනර්ජීවනය, ජාතියේ නවෝද්‍යා අනාගතය මේ සියල්ල පිළිබඳව කතා කරන විට මහවැලියේ ගෙවීගිය දශක කීපයේ ඉතිහාසය පිළිබඳව උදම් අනන්න පුළුවන්. සතුටු වෙන්න පුළුවන්. අපි පසුගිය දිනක වැඩ අවසන් කළ රජරටට වගේම පළාත් 4කට ජලය ලබාදෙන මොරගහකන්ද කළු ගඟ ජලාශය මේ රටේ වාරි ක්‍ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණයක් බව අපි දන්නවා.

මහවැලිය මේ රටේ ආර්ථිකයට විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියට ඒ වගේම කර්මාන්ත සංවර්ධනයට ඒ දෙන දායකත්වය තුළ අපිට අනාගතය සඳහා බොහෝ බලාපොරොත්තු තබන්න පුළුවන්කම තිබෙනවා. කෘෂිකර්ම ඇමැතිතුමා, මහින්ද අමරවීර ඇමැතිතුමා කිව්වා වගේ අපි කෘෂිකර්මාන්තය තුළ පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ පැහැදිලි ප්‍රබෝධයක් ඇති කර තිබෙනවා.

කිසිම ආණ්ඩුවකින් කෘෂිකර්මාන්තයට නොදුන්න සේවාවන් රැසක් ඉෂ්ට කර තිබෙනවා. ඒ නිසා අපි සෑම විටම කෘෂිකාර්මික පදනමකින් යුත් රටක් විදියට රටේ අතීතයේ ශ්‍රී භූතිය පිළිබඳව කතාකරන විට පෙර රජ දවස මේ රට ශක්තිමත් වෙන්න විශිෂ්ට රාජ්‍යයක් බවට පත් වෙන්නට මුල් පදනම ඇතිවුණේ කෘෂිකර්මාන්තය නිසා. අපි අදත් මේ රටේ අනාගතය පිළිබඳව කතා කරන විට විශ්වාසය තැබිය යුත්තේ මූලික වශයෙන්ම කෘෂිකර්මාන්තය තුළයි.

ඇඹිලිපිටිය - රූපසේන පත්තුව

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon