වෙනිසියුලාව වගේ ඇදවැටීමට ඉඩ නොදී රට රැක ගන්නේ බදු වැඩි කරලා

  👤  3371 readers have read this article !
By mawbima 2018-09-19

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද ගෙවුණු වසර තුන තුළ ජනතාවට සහන ලබාදෙමින් රට ඉදිරියට ගෙන යෑමට හැකි වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තම ආණ්ඩුවේ මීළඟ පියවර වන්නේ රටේ කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කරමින් විදේශ විනිමය වැඩි කර රටේ ණය බර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීම බව පැවැසීය.

1995 වසරේදී එවකට පැවැති ආණ්ඩුවට සමෘද්ධි සහනාධාරය ලබාදීමට හැකි වූයේ 1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශක්තිමත් ආර්ථිකයක් භාර දුන් නිසා බව වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ පසුගියදා මාතලේ, එඩ්වඩ් ක්‍රීඩාංගණයේ පැවැති සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙහිදී පවුල් 5400ක් සඳහා සමෘද්ධි සහනාධාර හිමිකම් ලබාදුන් අතර එම උත්සවය අමතා තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

1995න් පසු දීර්ඝ කාලයක් සමෘද්ධිය අලුතින් ලබාදුන්නේ නැහැ. 1995 වසරේ සමෘද්ධි සහනාධාරය ලබාදීමට හැකි වුණේ ඊට පෙර තිබූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා තිබූ නිසයි.
2015 වන විට රට කොතරම් කඩා වැටීමකට ලක්ව තිබුණා දැයි කියනවා නම් එවකට සිටි පාලකයන් ලබාගෙන තිබූ ණය කන්දරාවේ පොලිය ගෙවීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ.

2016-2017 වසරවලදී රට ආර්ථිකමය වශයෙන් දුෂ්කර තත්ත්වයකට පත්වුණ නමුත් අපි ඒ අභියෝගයට මුහුණ දුන්නා. අපි එයින් පැන ගියේ නැහැ.

2019 වසරේදී අපට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,000ක් පමණ වෙනවා. මීට පෙර සෑම වසරකම ඊට වඩා විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට තිබුණා. 2019 වසරෙන් පසු මේ තත්ත්වය අඩු කර ගෙන ඉදිරියට යා හැකියි.

පසුගිය කාලය තුළ දුෂ්කර තීන්දු, තීරණවලට යොමු වීමට අපට සිදු වුණා. බදු වැඩි කරනවාට ජනතාව විරුද්ධ වුණා. නමුත් බදු වැඩි නොකළා නම් රජයට ආදායම් අහිමි වෙනවා. එසේ ආදායම් නොමැතිව රට ඉදිරියට ගෙන යා නොහැකියි. රට වෙනිසියුලාව මෙන් බංකොලොත් වීමට ඉඩදිය නොහැකියි. මෙලෙස අමාරුවෙන් හෝ රට ඉදිරියට ගෙන ආ නිසා දැන් ජනතාවට සුළුවෙන් හෝ සහන ලබාදීමට හැකි වී තිබෙනවා.

ගෙවුණු කෙටි කාලය තුළ ඔෟෂධ මිල අඩු කළා. හෘද රෝගීන් සඳහා නොමිලයේ ස්ටෙන්ට් ලබාදුන්නා. 'ළඟම පාසල හොඳම පාසල' වැඩසටහන යටතේ පාසල් දියුණු කළා. පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණ ක්‍රමය ඇති කළා. ගැබිනි මවුවරුන්ට රුපියල් 20,000ක පෝෂණ මල්ලක් ලබා දුන්නා. සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කළා. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩි කළා. සමෘද්ධි දීමනාව දෙගුණයකින් වැඩි කළ අතර ශිෂ්‍යාධාර වැඩි කළා. රටේ මහාමාර්ග, වාරිමාර්ග දියුණු කළා. මේ ආකාරයට අප ලබාදුන් සහන හා සංවර්ධන වැඩකටයුතු ගැන පැය ගණනාවක් කතා කළ හැකියි.

මේ වැඩකටයුතු සිදු කරන අතරතුර දැන් අපි උත්සාහ කරන්නේ ගමේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ගමට වැඩි වැඩියෙන් මුදල් ලබාදීමටයි. ඒ සඳහා ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා, ග්‍රාම ශක්ති වැනි වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. මීට අමතරව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් ග්‍රාමීය ප්‍රදේශවලට මුදල් ප්‍රතිපාදන ලබා දී සංවර්ධන වැඩකටයුතු සිදු කරනවා.

අද ඕනෑම කෙනකුට පෙළපාළි යා හැකියි. සටන් පාඨ කිව හැකියි. මාධ්‍ය සන්දර්ශන පැවැත්විය හැකියි. නමුත් ඒ කිසිදු පාර්ශ්වයකට රට ඉදිරියට ගෙන යෑමට නොහැකියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon