20ට අත උස්සන මන්ත්‍රිවරයකුට දෙමළ ඩයස්පෝරාව රු.මිලියන 300ක් දෙනවා

  👤  3448 readers have read this article !
By mawbima 2018-09-19

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනයට පක්ෂ වන මන්ත්‍රිවරුන්ට රුපියල් මිලියන 300ක් බැගින් අල්ලස් දීමට දෙමළ ඩයස්පෝරාව සූදානමින් සිටින නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගැන අවිශ්වාසයක් පවතින බැවින් එම පනත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකට ගෙන නොයෑමට කටයුතු කිරීමට ජනතාව පෙළ ගැසිය යුතු යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කළේය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (18දා) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.

බෙදුම්වාද විරෝධී ජාතික ව්‍යාපාරය සංවිධානය කළ එම මාධ්‍ය හමුවේදී සරත් වීරසේකර මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ මන්ත්‍රිවරු හය දෙනෙක් පමණයි. 20 වැනි සංශෝධනය වැනි අතිශයින් සංවේදී පනතක් ඉදිරිපත් කරන්න ඔවුන්ට තනියෙන් බැහැ. ඒ පිටුපස රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපයත්, දෙමළ සන්ධානයත් ඉන්නවා.
කළුතර ජවිපෙ වේදිකාවට නැඟලා 20 ගැන කතා කළේ ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන්. ජයම්පති වික්‍රමරත්න මුළු ජීවිත කාලය පුරාම මේ රට ෆෙඩරල් කරන්න දඟලන පුද්ගලයෙක්. චන්ද්‍රිකා ජනාධිතිනියගේ කාලයේ පැකේජයේ නිර්මාතෘ ඔහුයි. සුමන්තිරන් කියන්නේ එල්ටීටීඊයේ දේශපාලන සංවිධානයේ නියෝජිතයෙක්. රට ෆෙඩරල් කරන්න ඔහු සෘජුවම පෙනී සිටිනවා. එවැනි පිරිසක් තමයි මේ පනත වෙනුවෙන් පෙනී ඉන්නේ.
එදා ජවිපෙ මවුබිම නැත්නම් මරණය කිව්වා. 13 වැනි සංශෝධනය ක්‍රියාවට නංවනවට විරුද්ධව 65,000ක් ජීවිත පූජා කළා. එම බලවත් විරෝධය නිසා තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට 13 සංශෝධනයෙන් රට බෙදීම වළක්වන්න බාධක ඇති කරන්න සිදුවුණේ. ආණ්ඩුකාරවරයාට බලතල දීම,
විෂයයන් 36ක් සම්බන්ධ සමාගම් ලැයිස්තුව වැනි බාධක ඇති කළත් අද එම බාධක ඉවත් කරන්න ජවිපෙ උත්සාහ ගන්නවා. ජීවිත පූජා කළ 65,000ක් පමණ පිරිස නින්දිත අයුරින් පාවාදීමක් තමයි ජවිපෙ සිදු කරන්නේ.
වෙනම රාජ්‍යයක් කරා යන්න නම් වෙනම ජන සමූහයක් තිබිය යුතුයි. ප්‍රභාකරන් ඇතුළු පිරිස උතුරේ ජනවර්ග ශුද්ධයක් ඇති කළා. ඒ කරුණු සම්පූර්ණයි. වෙනම ප්‍රදේශයක් ඔවුන් පාලනය කරනවා. ඒකත් සම්පූර්ණයි. සමූල ඝාතනයට හෝ හිංසාවට ලක් විය යුතුයි කියලා තියෙනවා. උතුරු පළාත් සභාවේ පනත්වලින් දැනටමත් ඒක කර තිබෙනවා. තමන්ට දී තිබූ බලයක් ක්‍රියාත්මක කරන්නට නොදීම ඊළඟ කරුණයි. 20න් කරන්න හදන්නේ ඒකයි.

20 සංශෝධනයෙන් එම බලතල ලබාදී ඒවාට දකුණෙන් උද්ඝෝෂණ ඇති වුණොත් එම කොන්දේසියත් සම්පූර්ණ වෙනවා. එතකොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දන්වා වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කිරීමට අවකාශ සැලසෙනවා.

මෙලෙස ගෙනත් තියෙන 20 තුළ මතුපිටට නොපෙන්වන තවත් දෙයක් තියෙනවා. පළාත් සභා පනත ගෙනාවේ පිටු 4කින්. ඒත් කාරක සභා අවස්ථාවේ පිටු 40ක පනතක් ලෙසයි පාර්ලිමේන්තුවේ සම්මත කළේ. 20 මඟින් විධායකය අහෝසි කරනවා කියලා යෝජනාව ගෙනත් වෙනත් දෙයක් තමයි කාරක සභා අවස්ථාවේ කරන්න යන්නේ.

මේක ඡන්දයකටවත් ගෙන යා යුතු නැහැ. මන්ත්‍රිවරු ගැන අපට විශ්වාසයක් නැහැ. ඡන්දයකටවත් ගෙන යා යුතු නැත්තේ ඒ නිසයි.

නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති ජනාධිපති නීතිඥ ආචාර්ය ඩබ්.ජී. රුද්‍රිගු
අද පවතින ආර්ථිකය 1987දී 13 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවෙත් දුටුවා. විනිසුරුවරුන් 9 දෙනෙක්ගෙන් 5 දෙනකුගේ බහුතර තීන්දුවක් ලෙස එය ලබා දුන්නත් 4 දෙනෙක් විරුද්ධ වුණා. වනසුන්දර විනිසුරුතුමා එම අර්බුදය දුටුවා. උතුරේ දිස්ත්‍රික්ක 5කට විශාල බලතල ලැබෙන බවත් කිව්වා. අනවශ්‍ය අය පලවා හැරීමට ඒ අයට පුළුවන් බවත් කිව්වා. 1990දී වර්ධරාජා පෙරුමාල් මහ ඇමැතිවරයා වෙනම රටක් ප්‍රකාශ කිරීමෙන් එය තහවුරු වුණා. පසුගිය කාලයේ සර්බියාවෙන් කොසෝවෝ ප්‍රාන්තය වෙන් වුණා. ජාත්‍යන්තර අධිකරණයෙන් වෙන්වීමේ අයිතිය තිබෙන බව පැවැසුවා. ජනගහනයෙන් 20%ක්, භූමියෙන් 2/3ක් තිබෙන බවත් උතුර මේ සංශෝධනය හමුවේ වෙන්වීම වළක්වන්න බැහැ.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon