උමතුසං වරුසාවට තෙමිලා

  👤  3213 readers have read this article !
By mawbima 2018-09-19

අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටින නිදහස් වෙළෙඳ ගිවිසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවහොත් ඩොලරයට ගෙවන මුදල නියත වශයෙන්ම රුපියල් 200 දක්වා ඉහළ යෑම කිසිවකුට හෝ නවතාලිය නොහැකි වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඊයේ (18දා) වජිරාශ්‍රම විහාරස්ථානයේදී ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මන්ත්‍රිවරයා එහිදී මෙසේද පැවසීය
"රටින් පිටට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය රට ඇතුළට එන ප්‍රමාණයට වඩා වැඩි වෙනව නම් ඩොලරයේ මිල ඉහළ යනවා. කළ යුත්තේ රට ඇතුළේ විදේශ විනිමය වැඩි කරගනිමින් රටින් පිටව යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කර ගැනීමයි. නමුත් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් වෙන්නේ රටින් පිටව යන විදේශ විනිමය ප්‍රමාණය වැඩිවීමයි.
ඒ නිසා ජනාධිපතිතුමා තමන්ගේ පාලනයේ අවසාන කාලපරිච්ඡේදෙදිවත් රුපියල් 200ට යන එක නවත්වගන්නට මූලිකව කළ යුතු වන්නේ ඉදිරිපත්කොට ඇති ලිබරල්කරණයේ උච්චතම අවස්ථාව දක්වා ඇති නව වෙළෙඳ ප්‍රතිපත්ති වහාම අත්හිටුවන බවට ප්‍රකාශ කිරීමයි.

වක්කඩ කැඩුවා වගේ සියලුම භාණ්ඩ හා සේවා පිටරටින් නිදහසේ ඒමට පාර කපන මෙරට දේශීය නිෂ්පාදකයන් ව්‍යවසායකයන් ආරක්ෂා නොකරන, ඔවුන් වනසන, විජාතිකයන් සනසන නව වෙළෙඳ ගිවිසුම ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට විවාද නොකොට තියෙන මේ ප්‍රතිපත්තිය වහා අත්හිටුවීමට ජනාධිපතිතුමා කටයුතු කළොත් ජනතාවට සහනයක් ලැබී ඩොලරය 200ට යන එක කෙටි කාලීනව නවත්වගන්න පුළුවන් වෙයි.
ඒ වගේම සිංගප්පූරු ගිවිසුම පිළිබඳ දැනට නිකුත් කොට ඇති ගැසට් නිවේදනය වහා අත්හිටුවීමද කළ යුතුයි. ඒ යටතේ තීරුබදු රහිතව සිංගප්පුරුවෙන් භාණ්ඩ ඒමට පටන්ගතහොත් ඩොලරය අනිවාර්යයෙන්ම මේ නොවැම්බර් 08දාට කලින් 170 වෙනවා.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට පෙරේදා (17දා) මධ්‍යම රාත්‍රිය පසුවන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 167 පසු කරලා තියෙනවා. රුපියල දැවැන්ත ලෙස මස්තබාල්දු වෙමින් පවතින විටදී ජනතාවට උසුලාගත නොහැකි බරක් කර මත පටවමින් අති විශේෂ ගැසට් නිවේදනයකුත් එදින මධ්‍යම රාත්‍රියේම නිකුත් කරලා තියෙනවා, සීනි කිලෝවක ආනයන තීරුබදු, වරාය සහ ගුවන් සේවා බදු, නිෂ්පාදන බදු ඉහළ දමමින් .
එක අතකින් ආනයනික භාණ්ඩවලට ගෙවිය යුතු මිල නූල කැඩුණු සරුංගලයක් වගේ ඉහළ යමින් පවතිනවා. ඒ තුළ බදු දඩයම කරමින් ජනතාවට උසුලාගත නොහැකි බදු බරක් භාණ්ඩ හා සේවා මත පැටවීමේ න්‍යායක් අද ක්‍රියාත්මක වෙන්නේ.
මුළු ආණ්ඩුවම උමතුසං වරුසාවට තෙමිලා ඉන්නේ. මුළුමනින්ම උමතු වී හැසිරෙන බදු හා වෙළෙඳ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව තමයි පැහැදිලි වෙන්නේ.
මේ ආණ්ඩුව පත්වී සතියක් ඇතුළත ඇමෙරිකානු ඩොලරයේ මිල රුපියල් 130 මට්ටමට ස්ථාවර කරන බවට හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මැතිඳුන් මුළු රටට අඬගාලා රජයේ පුවත්පතක් හරහා දිවුරලා පොරොන්දු වෙලා තියෙනවා.

අද ඒක රුපියල් 167 වෙමින් ලංකා ඉතිහාසයේ ආර්ථිකය කළමනාකරණය කර ගත නොහැකිවුණු ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙලා ඉවරයි.
ඇත්තටම රුපියලට මොකද වුණේ, රාජ්‍යයක තියෙන ප්‍රධාන වගකීම තමයි මුදලේ අගය ආරක්ෂා කිරීම. ඒ කාර්යභාරය වඩාත්ම කාර්යක්ෂමව කරපු යුගය ලෙස ඉතිහාසයට එකතුවෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ යුගය.
2015 දී රට භාරගත්ත අවස්ථාව වන විට ඩොලරයකට ගෙව්වේ රුපියල් 105යි. ලෝක ඛනිජ තෙල් අර්බුදය, ලෝක ආහාර අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය, රට ඇතුළේ යුද්ධය මේ සියල්ලම තිබියදී විදේශ විනිමය විශාල ලෙස පිටරටට ගලා යද්දීත් ඩොලරයට වසර 10ක් අවසානයේදීත් ගෙවන්නේ රුපියල් 131යි.

සමස්ත ලාංකේය ජනතාවගේ ජීවන බර සෑම ඩොලරයකටම රුපියල් 35කින් වැඩිවෙලා තියෙනවා.
මේ නිසා අද අගමැති ණය ගැන කියන පට්ටපල් බොරු පුපුරා දෙදරා යනවා.

එතුමා ඕනෑම තැනක කතා කළොත් කියන්නේ හම්බන්තොට, මත්තල ගුවන්තොටුපළ ඇතුළු මහින්ද යුගයේ සිදු කළ ව්‍යාපෘති සඳහා ගත් ණය ගැනයි. ඒකයි මේ බදු වැඩි කරන්න වෙලා තියෙන්නෙ, විකුණන්න වෙලා තියෙන්නෙ කියලා.
හර්ෂනී අර්සකුලරත්න

ඡායාරූප - අමිත් තෙන්නකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon