ජවිපෙ රට බෙදන පාපකර්මයට අත ගහලා

  👤  3335 readers have read this article !
By mawbima 2018-09-19

විසි වැනි සංශෝධනය ගෙනැවිත් රට බෙදන පාප කර්මයට තමන් අත ගසා තිබෙන බව ජවිපෙ දන්නා බවත් ඒ නිසා ඒ ජවිපෙ ජනතාව ඉදිරියට ඒමට බිය වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (18දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණෙන් ජවිපෙ ගෙනා විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අපි ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් සිදු කළ විභාගය 17 වැනිදා අවසන් වුණා. ජවිපෙ රටට කිව්වේ විස්ස පිළිබඳ ජනමත විමසුමකට මුහුණ දෙන්න ලැහැස්තියි කියලා. නමුත් ජවිපෙ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම් මහතා විස්ස සඳහා ජනමත විමසුමක් අවශ්‍ය නෑ කියලයි තර්ක කළේ. විසිවැනි සංශෝධනය සම්මත කරන්න ජනමත විමසුමක් අවශ්‍ය බව පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් වගේම නීතිපතිත් කිව්වා. නමුත් ජවිපෙ තමයි එයට විරුද්ධ වුණේ. තමන් කරන්නේ හරි දේ බව ජවිපෙ දන්නවා නම් ජනතාව ඉදිරියට යන්න මෙතරම් බියක් දක්වන්නේ ඇයි? හරි දේ කරනවා නම් ජනතාව ඉහළින්ම අනුමත කරාවි.

විස්ස රකින්න උසාවියට ආවේ කවුද? ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න වගේම නීතිඥ සුරේන් ප්‍රනාන්දු. මේ අයම තමයි විස්ස ඕනෑ කියන ජවිපෙ සම්මන්ත්‍රණ අමතන්න යන්නෙත්. මේ අය කවුද? රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවේ නිර්මාතෘවරු. ඉතිහාසය පුරා ෆෙඩරල්වාදය වෙනුවෙන් පෙනී සිටි අය. සමහරු නම් දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි අය. 'හානා හීය පානා අඬහැරෙන් දැනේ' කිව්වා වගේ මේ අය එකතු වීමෙන් විස්සේ ඇති භයානකකම පේනවා.

ජවිපෙ මේ පාප කර්මයට අත ගහලා තිබෙන්නේ ජනපතිවරණයට තිබෙන බය නිසා. ජවිපෙ විධායක ජනාධිපති ක්‍රමයට වෛර කරන්නේ සිය දේශපාලන ඉදිරි ගමනට ඇති දැවැන්තම බාධාව ඒක නිසා. අනෙකුත් මැතිවරණ මෙන් නොව ජනපතිවරණය කියන්නේ ප්‍රධාන පක්ෂ දෙක අතර තරගයක්. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසු පැවැති පළමු ජනපතිවරණයට ජවිපෙ ඉදිරිපත් වුණේ ඡන්ද දස ලක්ෂයක ඉලක්කයක් සමඟයි. නමුත් ජවිපෙට ලැබුණේ ඡන්ද 273,428ක් පමණයි.

ජවිපෙ පුංචි ඡන්දයක දී සැලකිය යුතු ඡන්දයක් ලබා ගන්නවා. පළාත් සභා මැතිවරණයේදී ඒක තවදුරටත් වර්ධනය කර ගන්නවා. ජවිපෙ දැන් මහත් ආශාවෙන් බලා සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය ඡන්ද තවදුරටත් වර්ධනය කර ගෙන පාර්ලිමේන්තුවේ දුරස්ථ පාලකය අතට ගැනීමටයි. නමුත් පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ අතරට ජනපතිවරණය එනවා. එය ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් අතර තරගයක් නිසා ජවිපෙ අපේක්ෂකයකු ඉදිරිපත් කළොත් ලැබෙන්නේ පළාත් සභා ඡන්දයේදී ලැබූ ඡන්දයෙන් භාගයයි.

ජවිපෙට දැන් විකල්ප ඉතිරි වෙලා නෑ. අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම, ජනපතිවරණය වර්ජනය කිරීම සහ ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකුට සහාය දැක්වීම යන සෑම විකල්පයක්ම ජවිපෙ දැන් අත්හදා බලා අසාර්ථක වෙලා තිබෙන්නේ. ජවිපෙට දැන් ඉතිරි වී ඇත්තේ තමන්ට හිසරදයක් වී ඇති ජනපතිවරණය අහෝසි කර ගැනීම පමණයි.

රාජ්‍ය නායකයා මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම හුදු මිනී මැරීමකට තැත් කිරීමක් නොවේ. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු කිරීමක්. නමුත් මේ වන තුරු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට අරගෙන නෑ.

හරි නම් මේ වන විට අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ යුතුයි. මොකද ඇප පනත අනුව ඔහුට ඇප දෙන්න බෑ. දැවැන්ත මැතිවරණ පරාජයකින් පසු ආණ්ඩුවට ඉල්ලා අස් වෙන්න කියලා සමාජයෙන් මතු වුණු ප්‍රබල මතය වෙන අතකට යොමු කරන්නයි ආණ්ඩුවට වුවමනා වුණේ. ඒ නිසා තමයි තෙල්දෙණියේ සිට දිගන දක්වා වූ කිලෝමීටර් හයක් කෝලහාලකරුවන් දේපළ හානි කරමින් ඉදිරියට ඇදෙද්දි පොලිසිය කිසිම පියවරක් නොගත්තේ. මේ සියල්ල ලස්සනට වහලා වෙනත් පිරිසක් මත වරද පටවන්න කටයුතු කළේ විමර්ශනය කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා. මේ හේතුව නිසා තමයි ඔහු වැඩ තහනමට ලක් කරන්න, ඔහුට විරුද්ධව කටයුතු කිරීමට ආණ්ඩුව බියක් දක්වන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon