අවසන් නිගමනය ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් කථානායකවරයාට

  👤  3146 readers have read this article !
By mawbima 2018-09-19

කමල් මහේන්ද්‍රන් වීරරත්න

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට දෙකඩ කිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට ගෙන එන ලද්දක් බැවින් ඒ පිළිබඳව මත ප්‍රකාශයක් කථානායකවරයාට ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන ආගමික, ජාතික හා සමාජ ක්‍රියාකාරීන් විසින් ගොනුකර තිබූ විශේෂ විමර්ශන පෙත්සම් පිළිබඳ විභාගය පෙරේදා (17දා) අවසන් කළ ශේ‍ර්ෂ්ඨාධිකරණය එහි නිගමනය කථානායකවරයා වෙත යවන බව ප්‍රකාශ කළේය.

මැදිහත්කාර පෙත්සම් ද ඇතුළුව පෙත්සම් 16ක් වැඩබලන අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් වූ විශේෂ ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ දින 04ක් තිස්සේ විමර්ශනයට ලක්විය.
ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ විශාරදයකු වන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ප්‍රමුඛ ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් මෙම පෙත්සම් සම්බන්ධයෙන් දිගින් දිගට කරුණු දක්වමින් එම යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික වගන්තියක් වන ඒකීයභාවය ආරක්‍ෂා කිරීම පිළිබඳව දැක්වෙන ව්‍යවස්ථා ප්‍රතිපාදනවලට අනනුකූල මෙන්ම පටහැනිද වන බවට කරුණු ගෙන හැර දක්වමින් කියා සිටියේ, එය පාර්ලිමේන්තු ඡන්ද විමසුම අවස්ථාවේ නොපැමිණ සිටින මන්ත්‍රිවරුන්ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රි සංඛ්‍යාවෙන් 2/3ක බහුතර කැමැත්තෙන්ද ඉන් අනතුරුව ජනමත විචාරණයකින් ලබා ගන්නා මහජන බහුතරයේ කැමැත්තෙන් ද මිස අනුමත කළ නොහැකි බවට නිර්දේශ කරන ලෙසය.

පෙත්සමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා කියා සිටියේ, 2015 මහ මැතිවරණයේදී විධායක බලය අහෝසි කිරීම සඳහා මහජනතාවගේ බහුතර කැමැත්ත ලබා දී ඇති නිසා යළි ජනමත විචාරණයකින් අනුමත කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් එබැවින් එවැනි නිර්දේශයක් ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් නොකළ යුතු බවත්ය.
ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ද ජනතා විමුක්ති පෙරමුණු පාර්ශ්වයේ මතය තහවුරු කරමින් පනතට පක්‍ෂව කරුණු දැක්වීය.
ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සම් ගණන 16ක් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon