ක්‍රිකට් කණ්ඩායමට හැම පහසුකමක්ම දීලත් මේ විදිහට පරාජය වීම කාහටත් ප්‍රශ්නයක් දැල්පන්දු ශූරියන්ටත් අපි සලකනවා-- ක්‍රීඩා ඇමැති ෆයිසර්

  👤  3138 readers have read this article !
By mawbima 2018-09-19

විචිත්‍ර වීරසිංහ


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයට හා ඇෆ්ගනිස්තානයට පරාජය වීම සම්බන්ධයෙන් තමන්ටද ප්‍රශ්නයක් ඇති බවත්, මේ පිළිබඳව ඉදිරියේදී වගකිව යුතු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවැසුවේ ආසියාව ජයගත් දැල්පන්දු ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඊයේ (18දා) ජාතික ඔලිම්පික් නිවහන පරිශ්‍රයේදී පැවැති උපහාර දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා "ක්‍රීඩාවලදී ජය හෝ පරාජය යන දෙකම අපි පිළිගන්න ඕන. ඒත් බංග්ලාදේශයට හා ඇෆ්ගනිස්තානයට යන රටවල්වලට මෙවැනි ආකාරයෙන් පරාජය වීම යම් ප්‍රශ්නයක් මතුවෙනවා. වැරැදි තියෙන්න පුළුවන්. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගැනත් අපි හිතන්න ඕන. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් මම පුහුණුකරු, තේරීම් භාර නිලධාරීන් හා ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය කරන සියලු සම්පත් අපි දීලා තියෙන නිසා මේ වගේ පරාජයන් දරාගන්න අමාරුයි තමයි. ක්‍රීඩා ඇමැතිවරයා හැටියට මේ පරාජය සම්බන්ධයෙන් කනගාටු වෙනවා" යැයි පැවැසූ මුස්තාපා මහතා ආසියාව ජයගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට මූල්‍යමය ත්‍යාගයක් ලබාදීමට කටයුතු කරන බවද කීය.

"ඔවුන් අපිට ජයග්‍රහණයක් ගෙනාව නිසා අපි ඔවුන්ට සැලකීමක් කළ යුතුයි. මේ නිසා ඔවුන්ට මූල්‍ය ආධාරයක් ලබා දෙන වැඩපිළිවෙළක් සකසලා තියෙනවා. ඒ වගේම දැල්පන්දු ක්‍රීඩිකාවන්ට මෙන්ම කැරම් ක්‍රීඩකයන්ටත් ඔවුන්ගේ දක්‍ෂතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක්ද ඉදිරියේදී සැකසීමට බලාපොරොත්තු වෙනවා" යැයිද සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකාරිනිය වන තිලකා ජිනදාසගේ සේවය මේ වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව ඇති නමුත් ඇයගේ සේවය තවත් වසරක් හෝ දෙකක් දීර්ඝ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් තමන් ගෙන ඇති බවද ඇමැතිවරයා කීය. "ශ්‍රී ලංකා දැල්පන්දුවට එතුමිය සිටිය යුතුමයි. ඒ නිසා ඇයව තවදුරටත් පුහුණුකාරීත්වයේ රඳවා ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග දැනටමත් මම අරගෙනයි තියෙන්නේ" යැයි සඳහන් කළ ඇමැතිවරයා ක්‍රීඩාවේ වත්මන් පරිහානියට ක්‍රීඩා සංගම්වල නිලතල දරන නිලධාරීන් වගකිව යුතු බවද කීය. "ක්‍රීඩා සංගම්වල සභාපතිවරු, ලේකම්වරු පත්වෙලා ඉන්නේ පුටුව රත් කරන්නවත්, ඒ පුටුවේ වරප්‍රසාද විඳින්නවත් නොවෙයි. ඔවුන්ට වගකීමක් තියෙනවා තමන්ගේ සංගමයට යම් මුදලක් සොයාගන්න" යනුවෙන්ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ඡායාරූපය _ කැළුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon