ශ්‍රී ලංකාවට කලින්ම ගෙදර එන්න ඇෆ්ගනිස්තානය වැඩ සලස්වයි

  👤  3127 readers have read this article !
By mawbima 2018-09-19

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉතාමත් දුර්වල පිතිහරඹයත්, පන්දු රැකීමේදී පෙන්වූ දියාරු බව හේතුවෙනුත් ලොව එක්දින ශේ්‍රණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවන ඇෆ්ගනිතානය හමුවේ ලකුණු 91ක දුක්ඛිතම පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවීම කැපී පෙනිණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙයට පෙර බංග්ලාදේශය හමුවේද ලකුණු 136ක පරාජයක් ලබාගත් අතර, මෙම පරාජය හේතුවෙන් සුපිරි කණ්ඩායම් 4ට පිවිසීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය.

ඇන්ජිලෝ මැතිව්ස්ගේ දුර්වල නායකත්වය බංග්ලාදේශ තරගයේදී මෙන්ම මෙවරද දිස් වූ අතර, මෙය ඇෆ්ගනිස්තානය හමුවේ ලංකාව පරාජයට පත් වූ පළමු අවස්ථාවද විය. දෙපිල මෙයට පෙර අවස්ථා දෙකකදී හමුවී ඇති අතර, එම අවස්ථා දෙකේදීම ජය හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටය.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානයෙන් එල්ල වූ ලකුණු 250ක ඉලක්කයක් පසුපස හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් අතුරින් මෙවරත් අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් පළමු පන්දුවාරයේදීම ලකුණු ලබාගැනීම පෙර දැවී ගියේ පළමු තරගයේදීම මෙන්ම මෙම තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පීඩනයකට ලක්කරමිනි.

මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් අනතුරුව උපුල් තරංගට එකතු වූ ධනංජය ද සිල්වා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවක් එක්කරමින් සිටියදී ධනංජය ලකුණු 23කට දුවද්දී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 54ක් විය. අනතුරුව උපුල් තරංගට එක් වූ කුසල් ජනිත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දමමින් සිටියදී රෂීඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ කුසල් ලකුණු 17කටත්, ඊට පන්දු තුනකට පසු උපුල් තරංග ලකුණු 36කටත් දැවී යාම හේතුවෙන් පරාජයේ සේයාව ශ්‍රී ලංකාවට දෙසට යොමු විය.

පන්දු 36කට මුහුණ දී හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 28ක් ලබාගැනීමට තිසර පෙරේරා සමත්වූ අතර, එය ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණයද වී තිබිණි.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරුවන් වූ ඉසනුල්ලා හා මොහොමඩ් ශෙෂාඩ් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවක් එක්කරමින් ඇෆ්ගනිස්තානයේ ආරම්භය ස්ථාවර කිරිමට සමත්විය.

ශෙෂාඩ් ආරම්භක කඩුල්ල ලෙස ලකුණු 34ක් ලබා සිටියදී අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරිමේ වරදට හසුව දැවී ගියද ඉසනුල්ලාට එකතු වූ රාමත් ෂා දෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 50ක සබඳතාවක් ඇෆ්ගනිස්තානයට එක්කළේය. ඉසනුල්ලා ලකුණු 45ක් ලබා සිටියදී නැවතත් ධනංජයගේ පන්දුවක් හමුවේ දැවී යන විට ඇෆ්ගනිස්තානය කඩුලු 2කට ලකුණු 107ක් වූ අතර, ඉන් අනතුරුව පැමිණි අස්ගර් අෆ්ගන් එක් ලකුණකට දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇෆ්ගනිස්තානයට යම් පීඩනයක් එල්ල කළද රාමත් ෂාට එකතු වූ හස්මතුල්ලා ෂහිඩි සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සබඳතාවක් එක්කරමින් කඩා වැටුණු ඇෆ්ගනිස්ථාන ඉනිම ශක්තිමත් කළේය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පැමිණි කිසිදු ඇෆ්ගනිස්තාන පිතිකරුවකුට සාර්ථක වීමට තිසර පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් නමුත් ඉවසිලිවන්ත ඉනිමක නිරත වූ ෂා පන්දු 90කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 72ක් ලබාගත්තේය. ඇෆ්ගනිස්තානයට තර්ජනයක් එල්ල කරමින් ලකුණු 55කට කඩුලු 5ක් තම කඩුලු ගොන්නට එක්කර ගැනීමට තිසර පෙරේරා සමත්වූ අතර, එය ඔහුගේ එක්දින දිවියේ කඩුලු 5ක් ලැබූ සිවුවැනි අවස්ථාව ලෙසද සටහන් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon