ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 19,000ක් තරග බිමට

  👤  3149 readers have read this article !
By mawbima 2018-09-19

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය 88 වැනි වරටත් සංවිධානය කරනු ලබන 'රිට්ස්බරි ජෝන් ටාබට් ජේ‍යෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද සිට 21 දක්වා කොළඹදීත්, කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් තරග ඔක්තෝබර් 17 සිට 19 දක්වා අනුරාධපුරයේදීත් පැවැත්වීමට නියමිතය.

සිලෝන් බිස්කට්ස් සමාගමේ "රිස්ට්බරි" නොකඩවා 8 වැනි වරටත් අනුග්‍රහය සපයන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 15,000කට අධික ප්‍රමාණයක් සහභාගි වන අතර, ජේ‍යෂ්ඨ තරගාවලිය අවුරුදු 16න්, 18න් හා 20න් පහළ යන වයස් කාණ්ඩ තුන යටතේත්, කනිෂ්ඨ තරගාවලිය වයස් කාණ්ඩ 4ක් යටතේත් පැවැත්වේ.

කෙසේ වෙතත් මෙයට අදාළව පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී පසුගිය වසරේදී පැවැති මෙම තරගාවලියේදී දක්‍ෂතා දැක්වූ වලල රත්නායක විදුහලේ ඩී.එම්.එච්.ජේ. කරුණාරත්න, කුලියාපිටිය මධ්‍ය විදුහලේ බිමාෂි අෂ්මිකා, දික්වැල්ල විජිත විදුහලේ සදිනි කවීෂා, කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඩිලාන් බෝගොඩ, කෑගල්ල ශා.ජෝෂප් විදුහලේ සඳමිණි බණ්ඩාර, රත්නපුර මොරකැටිය විදුහලේ ටී.එම්.එස්. රත්නසිරි යන ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට එක් අයෙකුට මාසයකට රුපියල් 5000 බැගින් වසරකට අදාළ මූල්‍ය අනුග්‍රාහයක්ද පිරිනැමිණි.

එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අදහස් කරගෙන ඇති රිස්ට්බරි ආයතනය විසින් මේ වසරේදීත් මෙම තරගාවලියෙන් දක්‍ෂතා දක්වන 6 දෙනකුට වසරකට අදාළ මූල්‍ය අනුග්‍රාහකත්වයන් ලබාදීමට පියවර ගෙන ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය. "මෙවැනි තරගාවලියක් සංවිධානය කරන එක ලෙහෙසි පහසු නැහැ. 2010 වසරේදී අපි මුලින්ම මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙන විට ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 4500-5000ක් පමණ හිටියා. ඒත් අද වෙනකොට ඒක 19,000ක් දක්වා වර්ධනය වෙලා තියෙන බව පෙනෙන විට ලොකු සතුටක් දැනෙනවා. ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට යම් අසනීපයක් වුණොත් ඊට පිළියම් වශයෙන් අපි ගිලන් රථයක්, හෙද නිලධාරිනියක් වගේ වෛද්‍ය පහසුකම් ලබා දෙන්න මෙවර තරගාවලියේදී කටයුතු කරලා තියෙනවා" යැයි සිලෝන් බිස්කට්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ) නිලුපුල් ද සිල්වා මහතා සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුව සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර, සිලෝන් බිස්කට්ස් සමාගමේ මහජන සම්බන්ධතා කළමනාකරු ජානක බොතේජු, එම සමාගමේ සන්නාම කළමනාකරු අරුණ ලියනපතිරණ, පාසල් මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති කේ.ජී. ප්‍රනාන්දු, ලේකම් නෙවිල් රොද්රිගු යන මහත්වරු එක්ව සිටියහ.
ඡායාරූපය _ ඒෂාන් දසනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon