උතුම් පින්කමක් කළ උතුම් මිනිසෙක්

  👤  3130 readers have read this article !
By mawbima 2018-09-19

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා කැප වූ මී එළදෙන හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වීමෙන් පසුව මතු කිසිදු ආත්මයක තිරිසන් සත්ත්ව ජීවිතයක් නොලැබේවා, අකල් මරණයකට පත් නොවේවා යන ප්‍රාර්ථනයෙන් මහ සංඝරත්නය වෙත දානය පූජා කරමින් මිනිසකු සිදුකළ උතුම් පින්කමක් පිළිබඳව එප්පාවල එළියදිවුල්වැවෙන් වාර්තා විය.
මේ පුණ්‍යකර්ම සිදුකළ එප්පාවල පොලිස් වසමේ එළියදිවුල්වැව අක්කරවත්ත පදිංචි එම්. මහින්ද දිසානායක මහතා කිරි ගවයන් ඇති කරමින් ගොවිපොළක් පවත්වාගෙන යයි. මහින්ද දිසානායක මහතා තම ගොවිපොළේ ගවයන්ට දරුවන්ට මෙන්ම ආදරය කරමින් රැක බලා ගන්නා ගොවි මහතකු බව ඔහු සිදුකළ පුණ්‍ය කර්මයෙන් මනාව පැහැදිලි විය.
තම පවුලට ආදායම් ලබා දෙන ගවයන් වෙනුවෙන් දවසේ වැඩි කාලයක් කැප කරන මහින්ද මහතාගේ ගැබ්බර මී දෙනක පසුගිය ජුලි මස 14 වැනි දින එප්පාවල එළියදිවුල්වැව ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටී එම ස්ථානයේම මරණයට පත් වී තිබිණි.

මියගියේ තිරිසන් සතකු වුවත් මිනිසකු මළ පසුව අවසන් ගෞරව දක්වන ආකාරයෙන්ම සංඝයා වහන්සේ වඩම්මවා පාංශුකූලය ලබා දී මියගිය මී ගවදෙනගේ අවසන් කටයුතු බෞද්ධ ආගමානූ කූලව සිදුකර දින තුන හා සතිය (හත් දවස) දනය ලබා දෙමින් පසුගිය 14 වනදා හදිසි අනතුරෙන් මියගිය මී ගවදෙන වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදුකිරීමට මහින්ද මහතා කටයුතු කළේය.

පසුගිය 13 වැනි මහින්ද මහතාගේ නිවෙසේ ධර්ම දේශනයක් පවත්වා 14දා වැනිදා දිනයේ එප්පාවල ගල්කන්ද පුරාණ රජමහ විහාරස්ථානයෙන් ස්වාමීන් වහන්සේ නිවෙසට වැඩම කරවා හීල් දානය හා පිරිකර පිළිගැන්වීම සිදුකෙරිණි. එහිදී අනුශාසනාවක් සිදුකරමින් ගල්කන්ද පුරාණ රජමහ විහාරාධිපති රාජකී පණ්ඩිත උපරතන හිමියන් කියා සිටියේ තිරිසන් සතකුට තිරිසනකු සේ සලකන්නේ නැතිව තම පවුලේ සාමාජිකයකු සේ සලකමින් මහින්ද රත්න මහතා සිදුකරන පින්කම් සමාජයට රටට ආදර්ශයක් බවයි.

තම ජීවිතය වෙනුවෙන් කැප වූ මහලු මව, පියාට බත් කටක් නොකවන දරුවන් සිටින සමාජයක තම දිවිසරි කර ගැනීමට පිහිටක් වූ ගවයකු වෙනුවෙන් දානයක් ලබාදීම තුළින් උතුම් මනුස්සකමක් පෙන්නුම් කර ඇති බව උන්වහන්සේ අනුශාසනාවේදී වැඩිදුරටත් පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon