භාණ්ඩ මිල දිනපතා ඉහළ යෑමට එරෙහිව සමස්ත ජනතාවම විරෝධය දැක්විය යුතුයි -ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්

  👤  3168 readers have read this article !
By mawbima 2018-09-19

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්

ඉන්ධන, පොල්තෙල්, අල, ලූනු හා එළවළු ඇතුළු සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දිනෙන් දින ඉහළ යෑම හා බදු පිට බදු පැනවීමත් නිසා තම සංගමය විසින් නිෂ්පාදනය කරන සියලු නිෂ්පාදන පසුගිය 15 වැනි දින සිට ඉහළ දැමීමට සිදුවූ බවත් එය තම සංගමය හා පාරිභෝගිකයා අතර ගැටුමක් බවට පත් කර රජය මල් නොතළා රොන් ගන්නා බවත් භාණ්ඩ මිල ඉහළ යෑමට එරෙහිව සියලු ජනතාව ඊට විරෝධය දැක්විය යුතු බවත් ආපනශාලා හිමියන්ගේ සභාපති අසේල සම්පත් මහතා පැවැසීය.

හෙතෙම ඒ බව පැවැසුවේ පෙරේදා (17දා) ඇල්පිටිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මේ වන විට වෙළෙඳපොළේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා අප සංගමය නිෂ්පාදනය කරන සියලු නිෂ්පාදනවල මිල රුපියල් 5කින් ඉහළ දැම්මා. රජය පොල්තෙල්වලට සියයට 20ක ආනයනික බද්දක් එකතු කළා. රුපියල් 240ට තිබුණු පොල්තෙල් බෝතලේ අද රුපියල් 260යි. දිනපතාම එළවළු මිල ඉහළ යනවා. රු. 80ට ස.තො.ස. ලූනු ගන්නවා කිව්වට රුපියල් 100ටවත් ස.තො.සේ. ලූනු නැහැ. ලංකා අල කියලා රට අල විකුණනවා. මේ කිසිම දෙයක් හොයන්න කෙනෙක් නැහැ. පාරිභෝගික අධිකාරිය නිදි. ඒකේ සභාපති යන්නේ කෝටි ගාණක වාහනයක. රටේ ජනතාව කෝටි දෙකයි. අධිකාරියේ නිලධාරීන් 200යි ඉන්නේ. ලක්ෂයකට එක නිලධාරියයි ඉන්නේ. මේ අධිකාරියෙන් රටටවත් පාරිභෝගිකයාටවත් සෙතක් වෙන්නේ නැහැ. ඒක අහෝසි කළ යුතුයි.

මේ රටේ ලක්ෂ 5ක් හෝටල් කර්මාන්තයේ යෙදෙන හෝටල් හිමියන් වෙනුවෙන් පෙනී සිටින්නේ. මේ හෝටල් සියයට 80ක්ම තියෙන්නේ බදු පදනම මත. බදුකරුවන් සියයට 50කින් ගාස්තු වැඩි කරලා. දිනෙන් දිනම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යනවා. අපේ කර්මාන්තයත් රැකගත යුතුයි. ඒ නිසයි අපි රුපියල් 5කින් මිල ඉහළ දැම්මේ. රජය දැන් මේක පාරිභෝගිකයත් අපිත් අතර ගැටුමක් බවට පත් කර මල් නොතළා රොන් ගන්න හදනවා.
රුපියල් 50ට තිබුණු සබන් කැටේ අද රු. 65යි. රුපියල් 60ට තිබුණු පෝෂණීය ධාන්‍ය පැකට් එකක් අද රු. 70යි. සියලු භාණ්ඩවල මිල දිනපතාම ඉහළ යනවා. ජනතාව දිනෙන් දිනම ජීවත්වීමේ ගැටලුවට මුහුණදෙනවා. මේ ගැන සොයා බලන්න කිසි කෙනෙක් නැහැ. ඒ නිසා මේ සියල්ලටම එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි. රටේ ජනතා ඇඳිරි නීතියක් පැනවිය යුතුයි. සියලු ජනතාව එක දිනක නිවෙසට වී නිහඬ විරෝධතාවක් දැක්විය යුතුයි. සියලු යතුරුපැදි, බස් රථ හා වෑන් රථ ධාවනය නොකර සියලු කඩසාප්පු වසා දමා ලෙඩ නිවාඩු දමා සියලු දෙනාම එක දිනෙක නිහඬ විරෝධතාවක් දැක්විය යුතුයි. ඒ සඳහා සියලු ජනතාව පෙළගැස්වීමට අප කටයුතු කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon