අපරාධවලට හවුල් වී දඬුවම් විඳින හා නඩු පවරා ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට පොදු සමාවක් දෙන්න

  👤  3077 readers have read this article !
By mawbima 2018-09-19

දැනට අත්අඩංගුවේ සිටින එල්ටීටීඊ සාමාජිකයන් යුද අභිමතාර්ථවලට සම්බන්ධ වූ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් විඳින එල්ටීටීඊ සාමාජිකයන්. අපරාධ සම්බන්ධයෙන් නඩු පවරා ඇති එල්ටීටීඊ සාමාජිකයන් සහ යුදමය තත්ත්වය පැවැති සමයේ අපරාධ සිදුකළ වෙනත් දෙමළ දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයන්ද පොදු සමාවක් දී නිදහස් කළ යුතුව ඇතැයි ජාතික හෙළ උරුමය සඳහන් කරයි.

එම පක්ෂය විසින් පෙරේදා (17දා) "සහජීවනය සඳහා ජාතික පොදු සමාවකට කාලය එළැඹ ඇත" යනුවෙන් සඳහන් කරමින් නිකුත් කළ නිවේදනයේ ඒ බව අවධාරණය කර ඇත.

යුද සමයේ වූ යුද අභිමතාර්ථ සාධනයේදී වූ අපරාධ සම්බන්ධයෙන් එකිනෙකාට සමාව දීමෙන් තොරව තවදුරටත් රටක් ලෙසට ඉදිරියට යෑමට නොහැකි බවද එහි සඳහන් වෙයි. රජය දැනටමත් 12,000ක් පමණ වූ එල්ටීටීඊ සාමාජිකයන්ට සමාව දී ඇති බවද සඳහන් කරන එම නිවේදනය මඟින් පවසා ඇත්තේ ඉතිරි සිය ගණනකට සමාව දීමේ කිසිදු අයහපතක් නැති බවයි.

ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීමේ යුක්ති සහගත අයිතියක් දෙමළ පාර්ශ්වයන්ට නොමැති බවද එමඟින් අවධාරණය කරයි.

රජයේ ආරක්ෂක අංශවල හෝ ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ සන්නන්ධ කණ්ඩායම්වල සාමාජිකයන්ට යුදමය අභිමතාර්ථවලට සම්බන්ධ වූ අපරාධ සම්බන්ධ චෝදනාවලටද පොදු සමාවක් දිය යුතු බවද ඉන් අවධාරණය කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත්කර යුදමය අභිමතාර්ථ සාධනයේදී සිදුවූ අපරාධ සහ පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් සිදුකළ අපරාධ වෙන් වෙන්ව හඳුනා ගත යුතු බවත් යුදමය තත්ත්වයට මුවා වී පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් සිදුකළ අපරාධ සඳහා නීතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් එහි දැක්වෙයි. දැඩි කොන්දේසි මත පවා සාපේක්ෂව සුළු පිරිසකට ඇප දීම වරදක් නම් කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව දහස් ගණනක් නිදහස් කිරීමට ඊට වඩා දස දහස් ගුණයක වරදක් විය යුතු බවත් එම නිවේදනයේ සඳහන්ය.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon