අපේ ආණ්ඩුවක් යටතේ 'එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා' ව්‍යාපෘතියේ මුදල් අවභාවිත කළ අයට නඩු දානවා

  👤  3168 readers have read this article !
By mawbima 2018-09-19

ඉදිරියේදී පිහිටුවන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවකින් 'එන්ටප්‍රයිස් - ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ රජයේ මුදල් අවභාවිත කළ සියලු නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී.එල්. පීරිස් පවසයි.

මූලික වශයෙන් ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා ආණ්ඩුවේ 'ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට' විශාල වශයෙන් අඩු පොලියක් යටතේ මුදල් ලබා දීමට මෙම 'එන්ටප්‍රයිස්' ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කර ඇතැයිද ඔහු පැවැසුවේය.

මෙසේ ලබා ගන්නා මුදල් ආපසු බැංකුවලට ගෙවීම සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙළක් නොමැතිව අරඹා ඇති මේ වැඩසටහන මැතිවරණවලට සූදානම්වීමක් බවත් සිය පාක්ෂිකයන්ට මුදල් සපයා දෙන වැඩසටහනක් බවත් හෙතෙම අවධාරණය කළේය.

රජයේ බැංකුවලට හා මහ භාණ්ඩාගාරයට විශාල පාඩුවක් වන මේ වැඩසටහන සඳහා ඇමැතිවරුන්ගේ වංචනික නියෝග පිළිපදිමින් ක්‍රියාත්මක වන නිලධාරීන්ට එරෙහිව අනිවාර්යෙන්ම නුදුරේදී පිහිටුවන ආණ්ඩුවෙන් පියවර ගන්නා බව ඔහු කීවේය.

ඒ අනුව දේශපාලන අරමුණක් සඳහා මහජන මුදල් වැරැදි ලෙස යොදා ගන්නා නිලධාරීන්ට එරෙහිව දැඩි තීරණවලට එළැඹෙන බවද හෙතෙම පැවැසීය.
ඇමැතිවරයගේ කීම පරිදි ඒවා කළා යැයි පසු කලෙක උසාවියක් හමුවේ කියා සිටීමට කිසිදු නිලධාරියකුට අයිතියක් හිමි නොවන බවද නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු ඔවුනට තමන්ගේ සාක්කුවෙන්ම මුදල් ගෙවීමට සිදුවන බවද ඔහු කීවේය.

පිහිටුවා ඇති එෆ්.සී.අයි.ඩී.ය, විශේෂ මහාධිකරණ හරහාම මෙවැනි නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවැසීය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18දා) ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මෙහෙය වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon