යතුරුපැදිය කැබ්රියේ ගැටී පොලිසියේ 2ක් මරුට

  👤  3188 readers have read this article !
By mawbima 2018-09-19

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම,

අනුරාධපුර _ පර්සි කුරුනේරු

අනුරාධපුර _ පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව පොළ ආසන්නයේදී යතුරුපැදියක් හා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අඹන්පොළ, රනෝරාව ලිපිනයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ නිශාන් පද්මසිරි රත්නායක (28) (81543) හා පැලැන්දගොඩ, ඇල්පිටිය ලිපිනයේ පදිංචිව සිටි ‍ෙදාලමුල්ලගේ චමිල චතුරංග (32) (77837) නමැති පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. ඔවුන් තඹුත්තේගම හා අනුරාධපුර පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් බව ගල්ගමුව පොලිසිය සඳහන් කළේය.
පෙරේදා (17දා) රාත්‍රි 10.00ට පමණ මෙම අනතුර සිදුව ඇත. කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථය, අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ පොලිස් නිලධාරීන් දෙදෙනා පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී ඇත.

අනතුර සිදුවූ අවස්ථාවේ අදාළ කැබ් රථය මඳ දුරක් ගොස් නතර කර ඇති අතර, එහි පැමිණි එක් පුද්ගලයකු වාහනයෙන් බැස සිද්ධිය වූ ස්ථානයට යෑමට සූදානම් වනවිට මාර්ගයේ සිටි පිරිස ඔහුව වටකර ගැනීම නිසා කැබ් රථයේ සිටි රියැදුරු එසැණින් කැබ් රථය පදවාගෙන ගොස් තඹුත්තේගම පොලිස් ස්ථානය වෙත භාර වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ ගමන් ගෙන ඇත්තේ පියා සහ පුතා බව පොලිසිය සඳහන් කරයි.

මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ (18දා) කොළඹ මහ අධිකරණයේ කැඳවීමට නියමිතව තිබූ නඩුවක සාක්ෂි ලබාදීමට සූදානමින් සිටි බවද ගල්ගමුව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

අනතුරට ලක් වූ යතුරුපැදිය හා කැබ් රථය ගල්ගමුව පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැබ් රථයේ රියැදුරු ඊයේ (18දා) ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්ගමුව මහෙස්ත්‍රාත් ජේ.කේ. ප්‍රභාත් මහතා නියෝග කර තිබේ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

නිකවැරටිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාගේ හා ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි අජිත් වංශනාථ යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා, එහි රථ වාහන අංශයේ ස්ථානාධිපති දුමින්ද නයනසිරි මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon