රටම පහතට ඇද වැටීම ගැන මම ජාතියෙන්ම සමාව ඉල්ලනවා -මැතිව්ස්

  👤  1042 readers have read this article !
By mawbima 2018-09-19

අංජන කළුආරච්චි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට..

පස්වතාවක් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය හමුවේ පෙරේදා ලැබූ ලකුණු 91ක අවමන් සහගත පරාජයත් සමඟ දෙවැනි වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතර එම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජිලෝ මැතිව්ස් පවසා සිටියේ ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය හමුවේ පරාජය වීම ලැජ්ජාවට කරුණක් නොවන බවයි.

ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය, ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කිරීම එයට හේතුව බව පැවැසූ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය මෙම පරාජයන්ට වගකිව යුතු බව පැවැසීය. තවදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් "පෙර තරගයට වඩා මෙම තරගයේදී අපේ පන්දු රැකීමේ අංශයේ දුර්වලතා අඩුයි. පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන් ප්‍රතිවාදීන්ව ලකුණු 250කට සීමා කරන්න සමත් වුණා වගේම ලකුණු 250ක් කියන්නෙ මෙම විකට්ටුවක ලබාගන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක්. පැහැදිලිවම මම ‍ෙදාස් කියන්නෙ පිතිකරණ අංශයට. අපි හැමෝම මේකේ වගකීම භාරගන්නව. මේක අපි හැමෝටම පිළිගත නොහැකි මෙන්ම කම්පාසහගත පරාජයක්" යනුවෙන් පැවැසීය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ මහතා මෙම පරාජයන්ට වගකිව යුතු පුද්ගලයකු නොවන බව පැවැසූ මැතිව්ස් "පුහුණු කිරීමේදී, සැලසුම් කිරීමේදී, ශාරීරිකව මෙන්ම මානසිකව යන කරුණු සියල්ලෙදීම පුහුණුකරු හතුරුසිංහ ලොකු කැපවීමක් කරනවා. අපි පිටියට ගියාට පසුවත් ඔහුට ඒක කරන්න බැහැ. අපි එතරම්ම නරක නැහැ. බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් තරගාවලිය අපි ජයග්‍රහණය කළා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුණු තරගාවලියත් නිදහස් කුසලාන තරගාවලියත් අපි පරාජය වුණා. අපේ සීමිත පන්දුවාර ක්‍රිකට් මේ වන විට සාධනීය මට්ටමක නැහැ. ලෝක කුසලානයට තියෙන්නෙ තවත් මාස 10ක කාලයක් නිසා අපි මේකට ඉක්මන් විසඳුමක් සොයාගන්න ඕනා. මේ විදියට පරාජය වීම අතිශයින්ම ලැජ්ජාවට කරුණක් වගේම අපි මුළු මහත් ජාතියම පහතට ඇද දැම්මා. ඒකට මම සමාව ඉල්ලනවා" යනුවෙන් සඳහන් කළේය.

එමෙන්ම මෙම තරගාවලියේ තරග දෙකේදීම ලකුණු නොලබාම දැවී ගිය මෙන්ම පසුගිය ඉනිම 22කදීම අර්ධ ශතකයක් ලබාගැනීමට නොහැකි වූ කුසල් මෙන්ඩිස් පිළිබඳව තීරණයක් ගැනීමට කාලය එළැඹ ඇති බවද ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon