උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහලෙන් වැඩ කළ හැකි එකම නිලධාරියකුවත් නැහැ සිංහල ගුරුවරුන්ගේ සියලුම රාජකාරි කටයුතු අඩපණ වෙලා

  👤  1027 readers have read this article !
By mawbima 2018-09-19

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරු පළාතේ සිංහල ගුරුවරුන් පන්සිය ‍ෙදාළහකගේ උසස්වීම්, ස්ථිර පත්වීම් ලිපි නිකුත් කිරීම් ඇතුළු කටයුතු ගණනාවක් වසර තුනක් තිස්සේම සිදුවී නොමැති බව වාර්තා වේ.
මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහලෙන් රාජකාරි කළ හැකි එකම නිලධාරියකුවත් මේ වනවිට නොමැති වීමයි.

උතුරු පළාතේ සිංහල ජාතික ගුරුවරුන් සඳහා ලැබෙන සෑම ලිපියක්ම සිංහල භාෂාවෙන් ඇති අතර එම ලිපි යාපනයට යැවූ විට ඒවා කියවා ගැනීමට නිලධාරීන් එහි නොමැතිකම නිසා සිංහල ගුරුවරුන්ගේ සියලුම රාජකාරි කටයුතු මේ වනවිට අඩපණ වී ඇතැයි උතුරු පළාතේ සිංහල ගුරුවරු පෙන්වා දෙති.

උතුරු පළාතේ සේවය කිරීම සඳහා කළමනාකාර සහකාරවරු අනූ දෙකක් මෑතකදී බඳවා ගත් අතර එම බඳවා ගැනීමට සිංහල ජාතිකයන් ඇතුළත් වී නොමැත.

සිංහල නිලධාරීන් අවම වශයෙන් හතර දෙනකුවත් බඳවාගෙන උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන්නේ නම් උතුරේ සිංහල ගුරුවරුන්ගේ උසස්වීම් හා අදාළ පත්වීම් ලිපි ඉතා කඩිනමින් සකසා ගත හැකි බව උතුරේ සිංහල ගුරුවරු කියා සිටිති.
උතුරේ සිංහල ජාතික ගුරුවරු ඉල්ලා සිටින්නේ දැනට වෙනත් කාර්යාලවල සේවය කරන සිංහල ජාතික කළමනාකාර සහකාර නිලධාරීන් හතර දෙනකු පමණ අදාළ කාර්යාල දෙකට තාවකාලික පදනමක් මත හෝ යොදවා ගොඩගැසී ප්‍රමාද වී ඇති ගුරුවරුන්ගේ අවශ්‍යතා කඩිනමින් ඉටුකොට දෙන ලෙසයි.

මේ අතර උතුරු පළාතේ සේවය සඳහා කළමනාකාර සහකාරවරුන් බඳවා ගැනීමේදී සිංහල අයැදුම්කරුවන්ට විශාල අසාධාරණයක් සිදුව ඇතැයි එම විභාගයට මුහුණ දුන් පිරිස කියා සිටිති.

අදාළ විභාගයෙන් ලකුණු 122ක් ලබාගත් සිංහල අයැදුම්කරුවන්ට
කළමනාකාර සහකාර පත්වීම් ලබානොදී ලකුණු 105ක් ලබාගත් දෙමළ අයැදුම්කරුවන්ට පත්වීම් ලිපි ලබාදී තිබේ.

මේ පිළිබඳව කළ සොයා බැලීමකදී පත්වීම් නොලැබුණු සිංහල අයැදුම්කරුවන්ට දැනගැනීමට ලැබී ඇත්තේ පළාත තුළ සිංහල සේවක පුරප්පාඩු නොමැති බව හා ජන අනුපාතයට අනුව පත්වීම් ලබාදීමේදී මේ තත්ත්වය සිදුව ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon