නිවාස ඇමැති ඇමතූ ලිපියට මාස 02ක් ගත වී ඇතත් පිළිතුරක් හෝ සාධාරණයක් නෑ

  👤  2889 readers have read this article !
By mawbima 2018-09-20

ලුණුවිල - රෝස් කොලින්

වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ නිවාසලාභියකුට නිවාස සංවර්ධන අධිකාරියෙන් ණය සහන පදනමක් මත ලබාදුන් නිවසක් ඔහු රෝහල්ගතව සිට ආපසු පැමිණෙනවිට එම අධිකාරිය විසින්ම වෙනත් අයකුට පවරා තිබීම නිසා ඔහුට සිදුවූ අසාධාරණය සැලකිල්ලට ගෙන සාධාරණයක් ඉටු කරදෙන ලෙස ඉල්ලා ජනපති කාර්යාලය විසින් 2018-07-24 වැනි දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය වෙත යැවූ ලිපියට මේ දක්වා අවශ්‍ය කටයුතු සිදුවී නොමැති බැව් එම නිවාසලාභියා හැඬු කඳුළෙන් යුතුව මාධ්‍යයට පැවැසීය.

මෙම කනගාටුදායක සිද්ධියට මුහුණදී ඇත්තේ කිරිමැටියාන මෝලවත්ත නිවාස යෝජනා ක්‍රමයේ අංක 23 නිවස හිමි ඩබ්.ඇම්. අනුර සමන්සිරි නමැති රැකියා විරහිත සිවුදරු පුද්ගලයෙකි.

ඔහු තවදුරටත් මාධ්‍යයට මෙසේ කීය.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දිවිහිමියෙන් කැපව ක්‍රියා කළ මට 2015දී පමණ ණය පදනමක් මත මෙම ඉඩම දී නිවස හදාගන්න කීවා. මට කියා වෙනත් නිවෙසක් නොමැති නිසා මගේ බිරිය හා දරුවන් එක්ව ඉතා අමාරුවෙන් නිවස ඉදිකළත් හදිසියේ විදුලිසැර වැදී කොළඹ දැඩිසත්කාර ඒකකයේ සිටි නිසා වහලය පමණක් ගසාගන්නට බැරිවුණා. වැසිකිළි වළ පවා මම කපා ඉවරයි. වහලයට ලී ටික පවා ගම්වාසීන් ලබාදීමට සූදානම්ව සිටියා. කෙසේ වෙතත් සිහිසුන්ව මම කොළඹ මහ රෝහලේ සිට මසකට පමණ පසු නිවෙසට එනවිට මගේ නිවෙස නිවාස සංවර්ධන අධිකාරිය විසින් වෙනත් ව්‍යාපාරිකයකුගෙන් දෙලක්ෂ දහදාහක් ලබාගෙන පවරලා. මේවා සහගහන අපරාධ.

මේ අසාධාරණය සම්බන්ධව පුවත්පත් වාර්තා පළ වුණත් අදාළ බලධාරීන් තවමත් නිහඬයි. දංකොටුව ජනපති පුරවැසි අත්වැලේ කැ¼දවුම්කරු වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගෝඨාභය වික්‍රමසිංහ මහතා විසින් ජනපති කාර්යාලයටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාට කීවත් තවමත් සාධාරණය ඉටුවෙලා නැහැ. මෙවැනි නිවාස ලබාදෙන්නේ අප වැනි අසරණයන්ට වුවත් මම හදපු හා වහලය පමණක් ඉදිකරගත නොහැකි වූ මගේ නිවෙස ව්‍යාපාරිකයකුට ලබාදීම

මහපොළව නුහුලන අපරාධයක්. ජනපති කාර්යාලය විසින් සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා දැනුවත් කළත් මේ දක්වා පලක්වී නොතිබීම පුදුමයට කරුණක්. ජනපති කාර්යාලයේ ලිපියකටවත් පිළිතුරක් නොමැතිනම් මම කාටද මේ දුක කියන්නේ. නිරෝෂන් පෙරේරා රාජ්‍ය ඇමැතිතුමාගේම උත්සවයකට අදාළ බැනරයක් ගැසීමට විදුලි ට්‍රාන්ස්පෝමරයකට ගොඩ වෙද්දී ඉණිමඟ පෙරළීමෙනුයි මට විදුලිසැර වැදී රෝහල්ගත වුණේ. එතුමා ඒ ගැන ඉතා හොඳින් දන්නවා. මේ වගේ අසරණ ආබාධිතයන්ට සාධාරණයක් ඉටුකර දෙන්න යහපාලන රජයට බැරි ඇයි.

රට පුරා නිවාස යෝජනා ක්‍රම සියගණන් බිහි කරන යහපාලන රජය මෙවැනි අසරණයකුට අයත් බලපත්‍ර හිමි නිවෙසක් වෙනත් අයකුට අලෙවි කර මහමඟට ඇදදැමීම සම්බන්ධව වෙන්නප්පුව ආසනයේ කිරිමැටියාන ජනතාව දඩි කනස්සල්ලට පත්ව සිටින හෙයින් අදාළ බලධාරීන් මේ සම්බන්ධව වහා පියවර ගැනීම ඉතාම වැඩදායක බව අවධාරණය කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon