ඉන්ධන-ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවමත් 2014ට වඩා අඩු මිස වැඩි නෑ

  👤  2808 readers have read this article !
By mawbima 2018-09-20

ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවමත් 2014ට වඩා අඩු නිසා පසුගිය කාලයට වඩා ජීවන වියදම වැඩි වී ඇතැයි කිව නොහැකි බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ ඊයේ (19දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්ය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශකවරු මෙසේද පිළිතුරු දුන්හ.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහි චෝදනා ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළාද?

රාජිත සේනාරත්න මහතා,

කැබිනට් මණ්ඩලයේ එහෙම සාකච්ඡාවක් තිබුණේ නැහැ. ඒ පිළිබඳ සම්පූර්ණ පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනවා. පොලිස්පතිතුමා ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් සම්පූර්ණ විස්තරයක් ලබාදී තිබෙනවා. චෝදනා කරන පුද්ගලයා පිළිබඳවත් රජයට වැටහීමක් තිබෙනවා. මොකද ඔවුන් පොලිසියට තොරතුරු දෙන අය. රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ ප්‍රශ්නයේදී ඔහුට රුපියල් ලක්‍ෂ 5ක මුදලක් දී තිබෙනවා. ඒ අය එක්ක සිටිමින් ඔවුන්ට එරෙහිව ඔත්තු දීම පිළිබඳ. මහනුවර සිද්ධියේදීත් ඔහු කාර්යයක් කර තිබෙනවා. නමුත් මුදල් ගෙවීමක් තවම කරන්න බැරි වුණා.

එම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය 'රෝ' ඔත්තු සේවයට සම්බන්ධ බවටත් චෝදනාවක් තිබෙනවාද?

අපි බලමු මේවයේ ඇත්ත නැත්ත මොකද්ද කියලා.

ප්‍රබල චෝදනාවක් තිබියදී පරීක්‍ෂණ කරන තුරු වැඩ තහනම් නොකරන්නේ ඇයි?

මූලික විමර්ශන කරලා තමයි සේවය අත්හිටුවන්නෙ.

ඒත් චෝදනාව බරපතළයි?

ඔය වගේ තවත් කොච්චර චෝදනා තියෙන අය ඉන්නවාද? චෝදනා තිබෙන තරමට සේවය අත්හිටුවන්න ගියොත් රාජ්‍ය සේවය ඉතුරු වෙන එකක් නැහැ.

චෝදනාවට ලක්වූ නියෝජ්‍ය පොලිස්පති, විමර්ශන කරන පොලිස්පතියි එකට පන්සල් යනවා. මෙහෙම කොහොමද පරීක්‍ෂණ කරන්නේ?

ඒ කාලේ වගේ නොවෙයි බොහොම නිදහසේ පරීක්‍ෂණ කරනවා. පොලිස් කොමිසමකුත් දැන් තියෙනවා. පොලිස්පතිට විරුද්ධවත් පරීක්‍ෂණ සිකෙරෙනවා.

හමුදා මාණ්ඩලික ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරන එක ජනාධිපති දන්නේ නැතිලු. කවුද මේවා කරන්නේ?

ඒක තමයි අද නිදහස භාවිත කරන ක්‍රමවේදය. රවි කරුණානායක ඇමැතිට විරුද්ධව චෝදනා ගොනු කළා. කවුරුවත් දන්නේ නැහැ.

ඔබ කියන විදියට නාමල් කුමාර නමැති පොලිස් ඔත්තුකරු ඇයි පොලිසිය සමඟ විරසක වෙන්නේ?

ඔහුට මුදල් නොගෙවීම ගැනත් කියවෙනවා.

ඇයි නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රශ්න නොකරන්නේ?

ඉස්සර වෙලා පැමිණිල්ල සටහන් කරගන්න එපායැ. ඊට පස්සේ තමයි චූදිතයාගෙන් ප්‍රශ්න කරන්නේ.

ඒත් මේ හඬපටය නියෝජ්‍යය පොලිස්පතිගේ නොවේද?

ඔහු ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කරනවා. හඬපටය ඔහුගේ නොවේ කියලා. එම හඬපටය හරිදවැරදිද කියලත් විමර්ශනයක් කෙරෙනවා.

අඬන, නටන, සින්දු කියන පොලිස්පතිගේ හැසිරීම ගැන මොකද හිතන්නේ?

පොලිස්පති වෙන්න ඉස්සෙල්ලා ඕවා කළේ නැහැනේ. මම වුණත් ඒ දේවල් ගැන එකඟ වෙන්නේ නැහැ.

යාපනය අනාරක්‍ෂිත බවට චෝදනාවක් තිබෙනවා නේද?

ආරක්‍ෂක අංශ කියන්නේ සම්පූර්ණයෙන්ම ආරක්‍ෂිතයි කියලා.

ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියාට තිබෙන චෝදනා කුමක්ද?

ඒක සී.අයි.ඩී.ය කරපු පරීක්‍ෂණයක් අනුව තමයි සිදු වෙන්නේ. 11 දෙනෙක් ඝාතනය කිරීම ගැන නඩුවකට අදාළ වුණත් ඝාතනයට ඔහුගේ සම්බන්ධයක් නැහැ. නේවි සම්පත් කියන පුද්ගලයකුට රටින් පිටවෙන්න දුන්නා කියලයි ප්‍රශ්නය. මේ වගේ චෝදනා වෙනත් හමුදා ප්‍රධානීන්ටත් එල්ල වුණා. නඩු පවරන්නේ නීතිපතිගේ අවසරය තියෙන ඒවාට විතරයි.

හමුදා මාණ්ඩලික ප්‍රධානිගෙන් ප්‍රශ්න කරනවා නම් ජනාධිපතිතුමා දැනුවත් කළ යුතුද?

ඔහු ආරක්ෂක ඇමැතිනේ. ඉතින් හමුදාවේ ඉහළම නිලධාරි ගන්නවා නම් එහෙම යුතුකමක් තියෙනවා. ඒත් නීතියේ එහෙම එකක් නැහැ.

නාමල් කුමාරගේ හෙළිදරව්වෙන් කියැවෙන ගෝඨාභය රාජපක්‍ෂගේ ආරක්‍ෂාව ගැන කතා නොකරන්නේ ඇයි?

ජනාධිපතිතුමා ගැන අපට උනන්දුවක් නැත්නම් ගෝඨාභය රාජපක්‍ෂ ගැන කොහොමත් උනන්දුවක් නැහැනේ.

ගෑස්, බස් ගාස්තු වැඩි කිරීම ජීවන මිල ඉහළ යෑමට හේතු වෙනවා නේද?

2014 ජනවාරි වන විට ගෑස් මිල තිබුණේ රුපියල් 2396යි. දෙසැම්බර් 7 ඡන්දය කාලයේ රුපියල් 500කින් අඩු කළා. රුපියල් 1896ක් වුණේ ඒ ආකාරයට. අපි 2015 ජනවාරි 29 අඩු කළා 1596 දක්වාත් ජූලි 15 වනවිට 1496 දක්වාත්, නොවැම්බර් 23 වනවිට 1346 දක්වාත්, 2016 නොවැම්බර් 23 1321 දක්වාත්, අඩු කළා.2017 සැප්තැම්බර් 26 වැනිදා තමයි රුපියල් 1431 දක්වා වැඩි කළේ අප්‍රේල් 18 වැනිදා රුපියල් 1676 දක්වාත් වැඩි වුණා. ඒත් ජූලි 30 වැනිදා 1538 දක්වා අඩු කළා. සැප්තැම්බර් 19 රුපියල් 1733 දක්වා වැඩි කළත් තවමත් 2014 ඡන්දයට අඩු කළ ප්‍රමාණයට වඩා ගෑස් මිල අඩුයි. කිරිපිටි මිලත් 2014 තිබුණු ගණනටම තිබෙන්නේ.

ඉන්ධන මිල තවමත් 2014ට අඩුවෙන් දෙනවා. ඒ විදියට විශාල සහන දුන්නා. ඉතින් කොහොමද ජීවන මිල වැඩි වුණා කියන්නේ. අද විදෙස් සංචිත ඩොලර් බිලියන 8 ඉක්මවා තිබෙනවා. දෙසැම්බර් මාසයේදී ඉන්ධන අඩු වෙතැයි අපේක්‍ෂා කරනවා.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - උදේශ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon