හොංකොං වෙතින් ඉන්දියාවට අමතක නොවන සටනක්

  👤  2757 readers have read this article !
By mawbima 2018-09-20

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලියේදී 'ඒ' කාණ්ඩයේ කණ්ඩායම් වන හොංකොං හා ඉන්දියාව අතර පෙරේදා (18දා) පැවැති තරගයෙන් ලකුණු 26ක ජයක් ඉන්දීය කණ්ඩායමට හිමිවීමත් සමග හොංකොං කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතර වසර 10කට පසුව එක්දින පිටියේදී මෙම කණ්ඩායම් එකිනෙකා හමුවූ පළමු අවස්ථාව වූ මෙහිදී හොංකොං වෙතින් ඉන්දීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල වීමද කැපී පෙනිණි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේදී කාසියේ වාසිය දිනාගත් හොංකොං ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7කට ලකුණු 285ක් රැස් කළ අතර පිළිතුරු ඉනිමට හොංකොං කණ්ඩායමට ලබාගත් හැකිවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 259ක් පමණි.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 45ක් එක් කර තිබියදී නායක රෝහිත් ශර්මා ලකුණු 23කට දැවී ගියේ ඒසාන් ඛාන්ගේ පන්දුවකට නිසාකත් ඛාන්ට උඩ පන්දුවක් ලබා දෙමිනි. රෝහිත්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි අම්බති රයුදු, ශිකර් ධවාන් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116ක අගනා සබඳතාවක් ගොඩනැඟූ අතර එක්දින දිවියේ 7වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළ රයුදු ලකුණු 60ක් ලබා සිටියදී කින්චිත් සාහගේ පන්දුවකට දැවී ගියේය.

14 වැනි එක්දින ශතකය ලබාගත් ශිකර් ධවාන් ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 240ක් ලෙස දිස්වූ අතර හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ධවාන් ලකුණු 127ක් රැස් කරගෙන සිටියේය. ඉන්පසු පිටියට පිවිසි මහේන්ද්‍ර සිං දෝනි ලකුණු නොලබාම ඒසාන් ඛාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඉනිමේ 5වැනි කඩුල්ල ලෙස ලකුණු 33ක් ලබාගත් දිනේෂ් කාර්තික්, කිංචිත්ගේ පන්දුවකට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය. ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාර 10 තුළ ලකුණු 48ක් පමණක් ලබාදුන් හොංකොං පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 300 ඉක්මවා යෑමට තිබූ ඉන්දීය ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 285කට සීමා වූ අතර කේදර් ජාදව් ලකුණු 28ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය. පන්දු යැවීමේදී කිංචිත් සාහ ලකුණු 39කට කඩුලු 3ක්ද ඒසන් ඛාන් ලකුණු 65කට කඩුලු 2ක්ද බිඳ හෙලූහ.

පිළිතුරු ඉනිමට ලකුණු 286ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි හොංකොං කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 174ක විශිෂ්ට සබඳතාවක් එක් කිරීමට සමත් වූයේ හොංකොං එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ලට මෙන්ම ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ හොඳම ලකුණු සබඳතාව සටහන් කරමිනි. එක්දින දිවියේ 7 වැනි අර්ධ ශතකය ලබාගත් නායක අන්ශුමන් රාත් කුල්දීප් යාදව්ගේ පන්දුවකට උඩපන්දුවක් ලබාදෙමින් දැවී යන විට ලකුණු 73ක් ලබා සිටියේය. දෙවැනි කඩුල්ල ලෙස නිසාකත්, කලීල් අහමඩ්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ තම මංගල එක්දින ශතකය සම්පූර්ණ කිරීමට තවත් ලකුණු 8ක් ඉතිරිව තිබියදීය.

බාබර් හයාත් ලකුණු 18කටත් කිංචිත් සාහ ලකුණු 17කටත් චහාල්ගේ පන්දු හමුවේ දැවී ගිය අතර ක්‍රිස්ටෝපර් කාටර්ට ලබාගත හැකි වූයේ ලකුණු 3ක් පමණි. අයිසස් ඛාන් ලකුණු නොලබාත්, ඒසන් ඛාන් ලකුණු 22කටත් දැවී ගිය අතර තන්වීර් අෆ්සාල් ලකුණු 12ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියත් හොංකොං ජයග්‍රහණය කරා මෙහෙයවීමට එය ප්‍රමාණවත් නොවිණි.

ඡායාරූප _ තාරක බස්නායක
ඩුබායි නුවර සිට..

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon