නියඟය හින්දා දිස්ත්‍රික්ක දහ අටකට අයත් නව ලක්ෂ හැට හතර දහසක් පීඩාවට පත්ව සිටිති

  👤  2689 readers have read this article !
By mawbima 2018-09-20

උදයන්ති මුණසිංහ

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක දහ අටකට අයත් පුද්ගලයන් නවලක්ෂ හැටහතර දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.

එම දිස්ත්‍රික්ක 18හි පවුල් දෙලක්ෂ හැටහය දහස් එකසිය හැත්තෑහතක් පීඩාවට පත්ව ඇති අතර, සමස්ත පුද්ගල සංඛ්‍යාව නවලක්ෂ හැටහතර දහස් දෙසිය හතළිහක් බව ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසුවේය.

මේ වනවිටත් එම පවුල්වලින් දෙලක්ෂ අටදහස් හාරසිය අනූ හයකට පානීය ජලය දෙන බවත් පානීය ජලය සැපයීම වෙනුවෙන් මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා දිස්ත්‍රික්ක දහ අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 97ක් සදහා රුපියල් මිලියන හැට පහක් ප්‍රතිපාදන දී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පීඩාවට පත් ජනතාවට පානීය ජලය දීමට ජල ටැංකිවලට, ජල බවුසර්වලට සහ මුදල් සහනාධාර දීම සඳහා මිලියන දහතුන් දහස් පන්සිය දහනවයක් මේ වනවිට රජය වියදම් කර තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියඟය දැඩිව පවතින නිසා එම දිස්ත්‍රික්කයේ පවුල් එක්ලක්ෂ විසිතුන්දාහක් වෙනුවෙන් නියං සහනාධාර දීම අද (20දා) ආරම්භකරන බවත්, ඒ සඳහා මිලියන 700ක් පමණ වැය කිරීමට බලාපොරොත්තු වන අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමි වූ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව අද දිනයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා මඟින් විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මේ නියං සහනාධාර දීම ආරම්භ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon