ගාමිණී සෙනරත් ඇතුළු 4කට එරෙහි නඩුව ඔක්: 29දා සිට දිනපතාම

  👤  2719 readers have read this article !
By mawbima 2018-09-20

කේ.එස්. උදයකුමාර්

පසුගිය රජය සමයේ 'ලිට්රෝ ගෑස්' සමාගමට අයත් රුපියල් මිලියන 500ක රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වැනිදා සිට දිනපතා විභාගයට ගන්නා බවත් නඩු කඩිනමින් විභාග කිරීමේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහා රජයේ හා විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ සහයෝගය අධිකරණයට වැදගත් වන බවත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා සඳහන් කළේය.

මෙම නඩුව ඊයේ (19දා) සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත කුමාර යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන සහ අලි සබ්රි යන මහත්වරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, මෙම නඩුවට සම්බන්ධ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සමඟ ඇතැම් ලේඛන බද්ධ වී ඇතැයිද එවැනි ලේඛන පැමිණිල්ල විසින් මෙතෙක් තමන්ට ලබාදී නැතැයිද සඳහන් කළහ.

විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම ස½දහා එම ලේඛන තමන්ට අවශ්‍ය බව සඳහන් කළ එම ජනාධිපති නීතිඥවරු ඒවා තමන් වෙත ලබාදෙන ලෙස රජයේ පාර්ශ්වයට නියෝගයක් නිකුත් කරන්නැයි වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

ඊට ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල මෙහෙය වන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කර සිටියේ විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන හෙට දිනය (21දා) වන විට ලබාදීමට පියවර ගන්නා බවයි.

ලේඛන හුවමාරු කරගැනීමේදී රජයේ සහ විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් අධිකරණය ප්‍රසාදය පළකරන බව කියා සිටි සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා, නඩු කඩිනමින් විභාග කිරීමේ ක්‍රියාදාමය සාර්ථක කර ගැනීම සඳහා රජයේ හා විත්තිය පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ සහයෝගය අධිකරණයට බෙහෙවින් වැදගත් වන බව විවෘත අධිකරණයේ සඳහන් කළේය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාද සඳහන් කර සිටියේ, නඩු විභාගය අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීමේ අදහසක් විත්තිය පාර්ශ්වය තුළ නොමැති බවයි.

අනතුරුව මෙම නඩුවේ විභාගය ඔක්තෝබර් මස 29 වැනිදා ආරම්භ කර දිනපතා සාක්ෂි සටහන් කර ගැනීමට නියම කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය, එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.

කෙසේ වෙතත් මෙම නඩුවට අදාළ ලේඛන සියල්ල විත්තිය පාර්ශ්වය වෙත ලැබී තිබේද යන්න පරීක්ෂා කර බැලීම සඳහා නඩුව නැවත මේ මස 28 වැනිදා කැඳවීමටද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේය.

2014 වසරේ පෙබරවාරි මස 01 වැනිදා සහ 2015 වසරේ ජනවාරි මස 20 වැනිදා දක්වා කාලසීමාව තුළ 'ලිට්රෝ' ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් 'හෙලන්කෝ' හොටෙල් ඇන්ඩ් ස්පා' නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටී.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නවීන් මාරපන, නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟඅලි සබ්රි, අනිල් සිල්වා සහ ගාමිණී මාරපන යන ජනාධිපති නීතිඥවරු පෙනී සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon